සරුංගල් වලිය දුරදිග ගොස්
පිය පුතු දෙදෙනා ඝාතනය කෙරේ

සරුංගලයක් උඩ ඇරීමේදී අසල්වැසියන්ට කරදරයි කියමින් ඇතිවූ බහින්බස්වීමක් මත මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ පෙරේදා සිදුවූ ආරවුලකින් අවාසනාවන්ත ලෙස පිය පුතු දෙදෙනෙකු කපා කොටා මරා දමන්නට තවත් පිය පුතු දෙදෙනෙකු ඇතුළු පිරිසක් කටයුතු කර තිබේ.
උදේ 8.00ට පමණ ‍තම නිවස ඉදිරිපිට කෑකෝ ගසමින් සරුංගල් අරිමින් සිටි ළමුන් පිරිසට එය නවත්තන්නැයි කළ ඉල්ලීමට ‘අපි පාරෙනෙ යවන්නෙ ඔයාලට කරදරයක් නෑනේ‘ යයි දැක්වූ ප්‍රතිචාරයෙන් කෝපයට පත්ව
ආරවුල ඇරඹී ඇත.
මෙම ආරවුලට මැදිවූ සියලු පිරිස් එකිනෙකා බාප්පා සීයා ආදී ලෙස හඳුන්වන සමීප ඥාතීන් වූ අතර ඔවුන් අතර දිගු කලක සිට පැවති විරසකකම් මේ සරුංගල් ප්‍රශ්නය නිසා යළි අලුත්වී ඇත.
සිද්ධියේ ප්‍රධාන සැකකරුගේ නිවස ඉදිරිපිට මහා මාර්ගයේ දී එම ඝාතනය සිදුකර ඇත.

ඝාතනයට ලක් වූ 48 හැවිරිදි සිව්දරු පියා යතුරුපැදියෙන් කරවල පැකට් රැගෙන ගොස් අලෙවි කරන අයෙකි.
ඔහුගේ 20 හැවිරිදි මියගිය පුතා දිවුලපිටිය ප්‍රදේශයේ ඥාතියකු යටතේ මුදල් ගනුදෙනු කරන ආයතනයක සේවය කරන්නෙකි.මියගිය පුතා අසල්වැසි තවත් ළමුන් පිරිසක් සමඟ සරුංගල් යවද්දී පෙරකී වචන හුවමාරුව සිදුවී තිබේ. එය ඇසී උදෑසන කරවල වෙළෙඳාමට යමින් සිටි පියා බහින්බස්වීම සිටි ස්ථානයට පැමිණ ඒ ගැන එකට එක කියමින් වාද කර තිබේ.
පැරණි ආරවුල පෑරීමෙන් පසු විවිධ දේවල් මතක් කරමින් කතාබහ දුරදිග යාමෙන් පසුව නිවසේ සිටි පිරිස කඩු හා පිහි අතට ගෙන ඝාතන සිදු කර තිබේ.
ලාල් ප්‍රේමසිරි සිල්වා නමැති සිවුදරු පියා හා සුරාජ් දනංජය සිල්වා පුතු මෙලෙස ඝාතනයට ලක්වීය.
ඝාතන සම්බන්ධයෙන් මියගිය සිව්දරු පියාගේ බාල දියණිය ශානිකා චන්ද්‍රමාලි(16)පොලිසියට මෙසේ කීවාය.
‘මියගිය තාත්තා උදේ 7 ට විතර එයාගේ යතුරුපැදියෙන්

අක්‌කලා දෙදෙනාව යටියන හන්දියට ගිහින් ඇරලවා ආවා. අක්‌කලා දෙන්නා කටුනායක වැඩට යනවා. එයාලව ඇරලවා ගෙදර ඇවිත් උදේ කාලා 8 ට විතර කරවල වෙළෙඳාමේ යන්න බයිසිකලයෙන් ගියා. තාත්තා ගෙදරින් පිටත්වෙලා සුළු වෙලාවකින් තාත්තා අම්මෝ කියා කෑගහනවා ඇසුණා. මමයි මියගිය අයියයි අම්මයි තාත්තා කෑගහන දිහාට දුවගෙන ගියා. ඒ වෙනකොට තාත්තා රාළහාමිලාගේ ගේ ඉදිරිපිට පාරේ වැටිලා සිටියා. රාළහාමිලාගේ පවුලේ අය කඩු පොලු තියාගෙන තාත්තාව වටකරගෙන හිටියා.

සීයා කෙනකු තාත්තාට පොල්ලකින් ගහනවා දුටුවා. එතන සිටි අයෙක්‌ තාත්තාගේ බෙල්ලට කඩුවෙන් කෙටුවා දැක්‌කා. එතන සිටි තව අයෙක්‌ අත කඩුවක්‌ තිබුණා. ඔහුත් තාත්තාට කඩුවෙන් කෙටුවා. අතේ පිහියක්‌ තියාගෙන හිටපු අයෙක්‌ තාත්තාට පිහියෙනුත් කෙටුවා. එතන හිටපු ගැහැනු අය බිම වැටී සිටි තාත්තට පයින් ගැහැව්වා. තාත්තාව බේරගන්න අපි ඉදිරියට ගියාම එහි සිටි අයකු අයියාට පොල්ලකින් ගැහුවා. ඒ එක්‌කම තාත්තාට කඩුවෙන් කොටපු කෙනා අයියාටත් කඩුවෙන් කෙටුවා. පොලු අතේ තිබුණු අය අයියට පොලුවලින් ගැහැව්වා. මටයි අම්මටයි පරුෂ වචනයෙන් බැණලා ගහන්න ආවා.

තාත්තයි අයියයි ලේ විලක්‌ මැද වැටිලා ඉන්නකොට එතනට ගොඩාක්‌ කට්‌ටිය ආවා. අපි කෑගැසුවා. අපේ චූටි බාප්පා වෑන් එකකින් එතනට ඇවිත් තාත්තාවයි අයියාවයි වෑන් එකේ පටෝගෙන මිනුවන්ගොඩ රෝහලට රැගෙන ආවා. මමත් අම්මත් වෑන් එකේ රෝහලට ආවා. රෝහලට රැගෙන එනකොටත් තාත්තයි අයියයි මියගොස්‌ කියා වෛද්‍යවරු කිව්වා"

දෙදෙනාගේම හිස ප්‍රදේශයට සහ ගෙළ ප්‍රදේශයට තියුණු ආයුධ වලින් පහරදී ඇතැයි ‍පොලිසිය පවසයි.පිය පුතු ඝාතනය සම්බන්ධයෙන් තවත් පිය පුතු දෙ‍පොළක් ඇතුළු තිදෙනකු පෙරේදා (26) මිනුවන්ගොඩ පොලිසියට පැමිණ බාර වී තිබූ අතර එම සැකකරුවන් තිදෙනා ඊයේ (27) මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.