මියගිය සරත්ගේ දුවයි පුතයි
මම භාරගන්නවා

-විනිසුරු කියයි

පසුගියදා නල්ලූර් ප්‍රදේශයේදී විනිසුරු ඉලන්චෙලියන්ගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා අනපේක්ෂිත වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් අතිශය කම්පනයට පත්විනිසුරුවරයා පොලිස් නිලධාරී සරත් හේමචන්ද්‍ර මහතාගේ අවසන් කටයුතු සිදුවන අවස්ථාවේ
කථාවක් පවත්වමින් දන්වා

සිටියේ මියගිය අයගේ දරුවන් දෙදෙනා රැකබලා ගන්නා  වගකීම තමා භාරගන්නා බවයි.

"මට දරුවන් දෙන්නෙක් ඉන්නවා. දෙන්නම පුත්තු. අද ඉඳල මම හේමචන්ද්‍ර ගේ දුවයි පුතයි මම රැකබලා ගන්නවා. දැන් මට දරුවන් හතර දෙනෙක් ඉන්නවා. මගේ මරණය දක්වාම මම මේ දරුවන් දෙන්නගේ අධ්‍යාපනය, අනාගතය භාර ගන්නවා. මේක මගේ යුතුකමක් ඒ වගේම වගකීමක්.
මේ දරුවන් දෙන්නා මගේම දරුවන් වගේ මම බලා ගන්නවා. මේ දුවගේ අධ්‍යාපනය විතරක් නෙවෙයි, අනාගතයේ දී විවාහයට පවා අවශ්‍ය මුදල් මම දෙනවා." යනුවෙන් විනිසුරුවරයා කියා සිටියේය.

වසර දාහතක් තමන්ට ආරක්ෂාව සැපයූ පොලිස් සැරයන්වරයා වෙඩි පහරට ලක්ව මියයාම දරාගත නොහැකි වූ මහාධිකරණ විනිසුරුවරයා පසුගියදා පොලිස් නිලධාරී වරයාගේ බිරිඳ ඉදිරියේ හඬා වැටුණ දර්ශනය රට කම්පාවට පත්කළ දර්ශනයක්ව තිබුණි.