රෝද පුටුවල එන අය සැණින් ඇවිදවන
පනාගොඩ හාස්කම ඇත්තක්ද? (video)

මේ දිනවල අන්තර්ජාලයට මුසුවී තිබෙන වීඩියෝවකින් පනාගොඩ පන්සලක සිදුවන එක්තරා හාස්කමින් ලෙඩ සුවකිරීමේ කර්තව්‍යයක් ප්‍රකට කෙරේ. මෙම කටයුත්ත සිදුකරන තැනැත්තා පන්සලට රැස්ව සිටින සියගණන් ආබාධිත අය වෙත ගොස් හිස සිට පාදාන්තය තෙක් තත්පර කිහිපයක් ස්පර්ශ කරන අතර ඒ සැණින් එතෙක් ඇවිදින්නට බැරිව සිටි අය
එම ලෙඩ සුවවී ඇවිදින්නට පටන් ගන්නා සෙයක් එහිදී පෙනෙන්නට තිබේ.
මේ ගැන කරුණු සොයා බැලූ අපට පනාගොඩ යුද හමුදා කඳවුරේ අනුග්‍රහයෙන් එම කඳවුරු විහාරස්ථානයේ සිදු කරන මෙම හාස්කම් සුවකිරීම් සේවාවට මෙම පුද්ගලයා පැමිණෙන රෝගීන්ගෙන් කිසිදු මුදලක් අය නොකරන බවත් දුර බැහැර සිට පැමිණ සිටින අයට ඔහුගේ අනුග්‍රහයෙන් නොමිලේම තේ පැන් ආහාර පිරිනමන බවත් වාර්තා විය.

ඔහු ඕස්ට්‍රෙලියාවේ වාසය කරන ශ්‍රී ලාංකිකයෙකු බවත් සෑම මසකම පළමු සෙනසුරාදාවේ පමණක් මෙම කටයුත්තට එක්වීමට පන්සලට පැමිණෙන බවත් වාර්තා විය.

පන්සල් භූමියක ආගමික බේදයකින් තෙරව මෙම හාස්කම ඉටුකරන නමුත් ‘දිව්‍ය සුව සේවා රෝගීන් සුව කිරීමේ මෙහෙය‘ නමින් එය නම් කර මෙම කටයුත්ත කතෝලික මුහුනුවරකින් සිදුවීම මත අන්තර්ජාලය තුළ ඇතැම් විවේචන හටගෙන තිබේ.

මේ ගැන සඳහන් වන පුවත්පත් දැන්වීම්ද අපට සොයාගත හැකිවූ අතර ඒවායේ දැක්වෙන්නේ මෙම කටයුත්ත සඳහා සවස 5 ට මල් පහන් රැගෙන බෝධි පූජා කරන්නට සූදානමින් සුදු වතින් පැමිණෙන්නැයිද දෙවියන්ටත් අපටත් පිං පිණිස සිදු කරන මෙම කටයුත්තට ජාති ආගම් බේද මෙන්ම මුදල් අපේක්ෂාද නැති බවත්ය. එසේම යන්ත්‍ර මන්ත්‍ර බෙහෙත් කැඩුම් බිඳුම් වෙදකම් හෝ උපදේශන සේවා නැති බවත් එහි දැක්වේ.
පසුගිය කාලයේ මේ ආකාර හාස්කම් සිදු කරන බව දන්වා ජනතාවගේ මුදල් ගසාකමින් මුළා කළ අය සිය ගණන් වාසය කළ නිසා මෙම ක්‍රියාවලිය දෙසද සැකයෙන් බලන්නට බොහෝ අය පෙළඹී ඇත.
කෙසේ වෙතත් මෙම හාස්කමින් ඇත්තටම ඇවිදින්නට බැරි අයට ඇවිදින්නට හැකිවෙනවා නම් එයද මහත් පින්කමකි.
අවධානයට යොමු විය යුතු එම වීඩියෝව පහතින්