සෙල්ල කතරගමදී කොටුවූ
'බත්තරමුල්ලේ  බන්ටි' සමයං මැරූ හැටි පාපොච්චාරණය කරයි


පසුගියදා කළුතරදී බන්ධනාගාර බස්‌ රථයකට ප්‍රහාරයක්‌ එල්ල කර රණාලේ සමයං ඇතුළු පස්‌දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු වන "බත්තරමුල්ලේ බන්ටි" ඊයේ (22 වැනිදා) සෙල්ලකතරගමදී පොලිසියට කොටු විය.
 අංගොඩ ලොක්‌කාගේ කල්ලියේ ප්‍රබල සාමාජිකයෙකු වන බන්ටි එම ඝාතනය සිදු කළ ආකාරය මේ වනවිට පාපොච්චාරණය කරමින් සිටී. බස්‌ රථයට වෙඩි තබා රණාලේ සමයං ජීවග්‍රහයෙන් රැගෙන ගොස්‌ ඔහුට අමානුෂික ලෙස වධ දී ඝාතනය කිරීම අංගොඩ ලොක්‌කාගේ මුල් සැලසුම වී තිබු බවද
ඔහු හෙළි කර තිබේ. නමුත් පිට සිට එල්ල කරන ලද ප්‍රහාර වලින් ඒ වනවිටත් සමයං බරපතල තත්වයේ සිටි නිසා තමා අංගොඩ ලොක්‌කා සමඟ බන්ධනාගාර බස්‌ රථයට ඇතුළු වී පරීක්ෂා කිරීමේදී රැගෙන යාම තේරුමක් නැතැයි තීරණය කර සමයං මැරූ බව ඔහු පිළිගෙන ඇත.
අංගොඩ ලොක්‌කාගේ

හෙරොයින් ජාවාරමේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේද බන්ටීය.
මෙම සැකකරු මෙම මස 28 දා දක්‌වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ඉල්ලා කොළඹ අපරාධ කොට්‌ඨාසය ඉදිරිපත් කළ වාර්තාව සලකා බැලූ කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් භාරතී විජේරත්න මහත්මිය සැකකරු මෙම මස 28 දක්‌වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ඊයේ 22 දා නියොගයක්‌ නිකුත් කර තිබේ.
අංගොඩ ලොක්‌කා සමයා බස්‌ රථයේ බිමදිගේ ඇදගෙන ගොස්‌ ප්‍රධාන දොරටුව අසලදී ඔහුගේ හිසට වෙඩිතැබූ බවද බන්ටි පොලිසියට පවසා ඇත. ප්‍රහාරය එල්ල කිරීම සඳහා අංගොඩ ලොක්‌කා සමඟ පාතාල සාමාජිකයන් නව දෙනකු පැමිණ ඇතැයිද හත්දෙනකු අංගොඩ ලොක්‌කාගේ කල්ලියේ සාමාජිකයන් වන අතර ඉතිරි දෙදෙනා මාකඳුරේ  මධුෂ්ගේ පාතාල කල්ලියේ බවද ඔහු කියා ඇත.

අංගොඩ ලොක්‌කා මෙම ප්‍රහාරය සඳහා පැමිණ ඇත්තේ පොලිස්‌ පරීක්‍ෂකයකුගේ නිල ඇඳුමිනි. සෙසු පාතාල සාමාජිකයන් බන්ධනාගාර නිලධාරීන්ගේ නිල ඇඳුමට සමාන නිල ඇඳුම්වලින් සැරසී පැමිණ ඇත.
අංගොඩ ලොක්‌කා පොලිස්‌ නිල ඇඳුමෙන් සැරසී ආවේ බන්ධනාගාර බස්‌ රථ දෙක අතරමග නතර කර ගැනීම සඳහා බවද ප්‍රහාරය සඳහා ටී 56 ගිනි අවි 06 ක්‌ සහ පිස්‌තෝලයක්‌ යොදාගෙන තිබූ බවද ඔහු පවසා ඇත.
ඔවුන් මුලින් සැලසුම් කර ඇත්තේ සමයංගේ බෙල්ල කපාගෙන විත් අතුරුගිරියේ කනත්තේ තබන්නයැයිද බන්ටි පවසා තිබේ.
කලින් සැලසුම් කළ පරිදි මාකඳුරේ මධුෂ් විසින අංගොඩ ලොක්කාගේ කල්ලිය වෙත ප්‍රහාරය සඳහා මුදල්, අවි ආයුධ හා ප්‍රහාරය සඳහා සාමාජිකයන් සිව්දෙනකු ද එවා ඇත. පසුව සිද්දියට පෙරදා රෑ අතුරුගිරිය, ජයන්තිපුර රබර් වත්තේ දී ‍අංගොඩ ලොක්කා මාකඳුරේ මධුෂ්ට වීඩියෝ දුරකථන ඇමතුමකින් සියල්ල සූදානම් බව පෙන්වූ බවත්, ඉන් පසු ප්‍රහාරයට ගිය බවත් ඔහු පවසා ඇත.

මරදානින් පැහැරගත් ඩොල්පින් වෑන් රථයක නැගී අංගොඩ ලොක්කා, බන්ටි ඇතුළු ප්‍රහාරකයන් අතුරුගිරියේ ඉඩමට ගොස් ප්‍රහාරය සඳහා සූදානම් වී ඇති බවත්, අතුරුගිරියේ ලඩියා රැගෙන ආ කැබ් රථය ද ප්‍රහාරයේ දී බන්ධනාගාර බස් රථවල ගමන අඩාළ කිරීමට යොදාගත් බවත් හෙළි කර ඇත.
ප්‍රහාරය සඳහා අවශ්‍ය ඉලක්ක ගත ස්ථානය අංගොඩ ලොක්කා විසින් තෝරගෙන ප්‍රහාරය සැලසුම් කර ඇති බවත් ප්‍රහාරයට දින දෙකකට පෙර දින (25) සවස ඩොල්පින් රථයේ දමාගෙන ගොස් අතුරුගිරිය රබර් වත්තේදීම මෙහෙයුම සිදුවන ආකාරය විස්තර කර ස්ථාන පරීක්ෂාවක් ද කර ඇති බව හෙළි වී ඇත.
එදින රාත්‍රියේම මෙම කණ්ඩායම ප්‍රහාරයට තෝරාගත් තැනින් වෑන් රථය නවත්වා කළුතර බන්ධනාගාර ඉදිරිපස ගේට්ටුව දක්වා ඇවිද ගොස් පැමිණ ඇති බවත් හෙළි වී ඇත. බන්ධනාගාරයේ සිට ප්‍රහාරයට තෝරාගත් තැන දක්වා තිබි ඇත්තේ මීටර් දෙසීයක දුරකි.

මෙහි දී බන්ධනාගාර බස් රථ දෙකේ ගමන් වේගය අඩාළ කර ඉලක්කය සපුරා ගැනීම සඳහා ලඩියා ගෙන ආ කැබ් රථයේ තැඹිලි කපන මුවාවෙන් තැඹිලි වලු කිහිපයක් ද රැගෙන යාමට සැලසුම් කර ඇත.
පසුදින (26) රාත්‍රියේ අතුරුගිරියේ රබර් වත්තට යළි එකතුවන කණ්ඩායමට එහි දී වෑන් රථයේ තිබූ නිල ඇඳුම් ඇඳගෙන කළු බෑගයක තිබූ අවි ආයුධ බෙදාගැනීමට ලොක්කා උපදෙස් දී ඇත.
අංගොඩ ලොක්කා ‍පොලිස් පරීක්ෂකවරයකුගේ නිල ඇඳුමක් ඇඳ ඇති අතර බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් අඳින ඇඳුම් සෙසු නවදෙනා ඇඳ ඇත.

සියලු දෙනා අවි ආයුධ සමග ‍පෝලිම් කර වීඩියෝ දුරකථන ඇමතුමක් හරහා මාකඳුරේ මධුෂ්ට පෙන්වා දීමෙන් පසුව ප්‍රහාරය එල්ල කළ දින (27) අලුයම 1.30ට අදාළ ස්ථානයට පැමිණ ඇත.
කඳුගැට සහිත ප්‍රදේශයේ ටී-56 අවිකරුවන් තිදෙනකු බස්රථවලට පහරදීමට යොදා අංගොඩ ලොක්කා, බන්ටි ඇතුළු සිව්දෙනකු බස් රථයට නැග පහරදීම සඳහා ගොස් ඇත්තේ සමයං රැගත් බස් රථය එන බවට අංගොඩ ලොක්කාට ලද දුරකථන ඇමතුමකින් පසුවය.

ඒ මොහොතේ දී බස් රථයේ සිටි දෙමළ ජාතික නියාමකවරයා ලොක්කා ඇතුළු සිව්දෙනා සිටි දෙසට එල්ල කළ වෙඩි ප්‍රහාරය අංගොඩ ලොක්කාගේ කකු‍ලේ බූට් සපත්තුවේ වැදී ලිස්සා යාමත් සමග ලොක්කා සමග සිටි පිරිස එල්ල කළ ප්‍රතිප්‍රහාරයෙන් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා මියගොස් ඇත.
මේ වනවිටත් වෙඩිවැදී තුවාල ලබා බස් රථයේ බඩගාගෙන ආ සමයං ඇතුළු පාතාල කණ්ඩායම සොයා ලොක්කා, බන්ටි ඇතුළු සිව්දෙනකු බස් රියට නැග ටී56 අවි තුනකින් හා පිස්තෝලයකින් වෙඩි වරුසාවක් සමයංගේ හිසට හා අනෙක් පිරිසට තබා විනාඩි ගණනක් තුළ වෑන් රථයේ නැගී පලාගොස් ඇත.
අතරමග දී එක් එක් සාමාජිකයන් බස්සවන්නට වූ බවත්, සියලු දෙනාට රුපියල් තිස්දහස බැගින් මධුෂ් එවා තිබූ බවත් සැකකරු හෙළිකර ඇත.

තමාව පානදුරෙන් බස්සවා ගිය බවත්, ඉන් පසුව බත්තරමුල්‍ලේ නිවසට පැමිණ මධුෂ්ගේ ඇමතුමකට අනුව මාතරට ගොස් රුපියල් ලක්ෂයක් ගෙන නුවරඑළියට ගිය බවත් සැකකරු වන බන්ටි හෙළිකර ඇත.
අදාළ වෑන් රථය මොරගහහේන ප්‍රදේශයේ දමාගොස් තිබූ අතර මෙම ප්‍රහාරයෙන් පසුව ලොක්කා ඇතුළු පිරිසක් බෝට්ටුවකින් ඉන්දියාවේ සිටි තෙල්බාලාගේ බෝඩරය වෙත ගොස් එතැනින් ජාත්‍යන්තර මුහුද ඔස්සේ වෙනත් රටකට පැනගිය බව අනාවරණය වී ඇත.

(තොරතුරු - තිස්ස රවින්ද්‍ර පෙරේරා)