භීෂණ සමයේ අතුරුදන් බව සිතූ තරුණියක
වසර 26 ක් නිවසක සිරවී - නැවත මතුවේ

මෙරට පැවති 88-89 භීෂණ සමයේදී අතුරුදහන් වූවා යයි සිතූ 17 හැවිරිදි තරුණියක් වසර 26කට පසු ඇගේ නිවස සොයා ගම්පොළ ගිරාඋල්ල ප්‍රදේශයට පැමිණි පුවතක් වාර්තාවේ.
ඇය මේ දක්වා වසර 26 ක කාලයේ දෙල්කඳ ප්‍රදේශයේ නිවසක සිරකරගෙන අමානුෂික ලෙස සලකමින් මුදල් කිසිවක් නොගෙවා මෙහෙකාරකමේ යෙදවූ බව අනාවරණයවී තිබේ.
පද්මා කුමාරි නැමති ඇය අද වන විට 43 වන වියේ පසුවන අතර එවකදී ඇය අතුරුදහන් වීමෙන් පසු ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන්
අතුරුදහන් වූවන් වෙනුවෙන් ගෙවන ලද වන්දි මුදල් පවා ඇය වෙනුවෙන් ගෙවා තිබේ.
88 – 89 භීෂණ සමය වන විට 17 වන වියේ පසු වූ ඇය එකල යෝජිත විවාහයකට අනුව කසාද බැඳීමෙන් පසුව සැමියාගේ ගම වූ නොහොමඩ ප්‍රදේශයේ පදිංචියට ගොස් ඇත. නමුත් ඇයට විවාහ ජීවිතය ගත කිරීමට සිදුව ඇත්තේ මාස තුනක් වැනි කෙටි කලක් පමණි. එම භිෂණයේ ගොඳුරක් වූ ඇගේ සැමියා නිවසින් ඈත තේ වත්තක මරා දමා ඇත්තේ ඇස් බැඳ පැමිණි සිව් දෙනෙකු විසින් රැගෙන ගොස් වෙඩි තැබීමෙනි.

සැමියාගේ දාන මාන කටයුතු වලින් පසු කුමාරි නැමති ඇය ඇයගේ මහ ගෙදරට පැමිණ

ඇති අතර ඉන්පසු සිදු වූ දේ ඇය මෙසේ පැවසුවාය.
“මම මහගෙදරට ඇවිත් දවස් දක තුනයි ගියේ; සැමියාගේ ලොකු අම්මා කෙනෙකුගේ දුවක් මට නාවලපිටියේ තියෙන එයාලගේ ගෙදරට එන්න කීවා. වෙලා තිබුණු සිදුවීමෙන් පීඩනයකින් හිටිය මම එහෙ ගියා. එතැනදී ඒ අය මට කීවා විහාරමහදේවි උද්‍යානය බලන්න කොළඹ යමුයි කියලා. මට අවුරුදු 18වත් ලබලා නැහැ. මමත් යමු කීවා.

නමුත් මේ අය කොළඹ අරන් ගිහින් මාව දෙල්කඳ පොළ ගාව ගෙදරකට බාර දුන්නා.
ඒ අය මට එන්න නොදී එහෙ මාව හිර කරගෙන වැඩ ගන්න පටන් ගත්තා. ගෙදර තාප්පෙ උසට බැඳලා තිබුනෙ. එළියට අඩියක්වත් තියන්න දෙන්නෑ. එළියට ගියොත් කකුල් කඩනව කියල තර්ජනය කළා. මගෙ නමත් රාණි කියල වෙනස් කළා.අවුරුදු 26ක්ම මට නිදහසක් තිබුණේ නැහැ. පාන්දර පහට නැගිටලා වැඩ කරන්න පටන් ගත්තේ. මම මේ ගෙදරට යනකොට ළමයි දෙන්නයි, මහත්තයයි, නෝනයි හිටියේ, පොඩිම ළමයට වයස මාස තුනයි. මම ඉතිං ළමයි බලා ගන්න ඒවයි අනෙක් වැඩයි හැදේම කරන්න ඕනෑ.
ඔහොම අවුරුදු ගානක් ඉන්නකොට මගේ තාත්තා මැරුණා කියලා මේ අය කතා වෙනවා. මම ගෙදර යන්න ඕනෑ කියන කොට මට බැනලා යන්න දුන්නෙ නැහැ.

අපේ ගෙදර මට සහෝදර සහෝදරියෝ 13 ක් ඉන්නවා. එක මල්ලි කෙනෙක් නේවි එකේ හිටියා. එයත් මැරුණා. මගේ අයියා කෙනෙකුත් මැරුණා. මට මේවා මේ අය කතා වෙනවා දැන ගන්න ලැබුණා. ඒ එකකට වත් මට යන්න දුන් නැහැ.
අවුරුදු 26 ක් හිටියත් මගේ නම ඡන්ද නාමලේඛනයටවත් දැම්මේ නැහැ. ග්‍රාම සේවක මහත්තයා එනකොට මාව හංගනවා. එළියට එන්න දුන්නේ නැහැ.
මෙහෙම ඉන්න කොට අසනීප වුණු ඒ අයගේ අක්කලා දෙන්නෙකුත් මේ ගෙදරට ගෙනත් දැම්මා. එක්කෙනෙකුගේ කොන්ද කැඩිලා. නැගිටින්න බැහැ. මම ඒ හැම කැත කුණුම අත ගාල වැඩ කරන්න ඕනෑ.
මම මේ වැඩ කරනවිට පඩි ඉල්ලුවාම මට හොඳටම ගහනවා. බණිනවා මිස සතයක්වත් දුන් නෑ.අද මේ ළමයි දෙන්නගේ වයස පොඩි එක්කෙනාට 26 යි. ලොකු එක්කෙනාට 30 යි. ඒ ‍අයගේ වැඩ එදා ඉඳලා අද වනතුරුම මම තමයි කළේ.

මේ දුක් විඳින්න බැරි නිසා අහම්බෙන් දුරකථන ඇමතුමකට කතා කළ අයෙකුට මම මේ විස්තර කියලා මගේ ගෙවල් හොයා ගන්න මට උදවු කරන්න කීවා. ඒ අයත් මාස හතරක් හොයලා හොයලා හොයා ගන්න බෑ කීවා.
16 දින මම ගෙදර අය හවස නිදාගන්න කල් ඉදලා රෑ හතට විතර ගෙදරින් පැන ගත්තා. ගෙදර හොයාගෙන ගම්පොළට 17 දින එන්න පුළුවන් වුණා. ඒත් ගෙදර අයට මාවත් මට ගෙදර අයවත් අඳුනා ගන්න බැරි වුණා. අවුරුදු 26ක් නේ. අඩුම තරමේ අම්මාටවත් අදහාගන්න බැරි වුණා. පස්සේ මගේ අයියා කෙනෙක් මගේ හැඳුනුම්පත බලලා මාව අඳුනා ගත්තා.
ඇගේ සොහොයුරෙකු වන ආර්.ඩී.මුනිදාස මෙසේ කියා සිටියේය.



“අපේ පවුලේ 13 දෙනාගෙන් පද්මා කුමාරි හත් වැනියා. එයා භීෂණ සමයේ අතුරුදහන් වුණාට පස්සේ මේ ගැන අපි නාවලපිටිය පොලිසියට පැමිණිළි කළා. පස්සේ අපි සියලු දෙනාම එයා හොයන්න පටන් ගත්තා. දේවාල ගානේ ගියා. නමුත් හොයා ගන්න බැරි වුණා.
පස්සේ ගඟ ඉහළ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් ඇය අතුරුදහන් ලේඛනයට ඇතුළත් කළා. නංගිගේ මහත්තයත් භීෂණයෙන් මැරුණ නිසා අපි හිතුවේ එයාටත් මොනවා හරි වෙන්න ඇති කියලා. ඒ නිසා අපි එයාට බණ කියලා පිරිත් කියලා දානේ පවා දුන්නා. ප්‍රාදේශිය ලේකම් තුමා ඒ දවස්වල එයාගේ අතුරුදහන් වීම වෙනුවෙන් ලබා දෙන වන්දි මුදල පවා අපට ලබා දුන්නා.

අද නංගි අසරණ වෙලා එයාගේ හොඳම කාලේ ගෙදරක බැල මෙහෙවරට යොදවලා. අද එයාට ඉන්න තැනක් නැහැ. අම්මාත් දැන් වයසයි. අපි ඔක්කොමත් බැඳලා ඉන්නේ. එයාගේ අනාගතය අවිනිශ්චිතයි. ඒ නිසා අපි සියළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ඇයට සාධාරණයක් ඉටු කරදෙන ලෙසයි."
“මේ තරම් කාලයක් වැඩ කරලත් එයාගේ නමට බැංකුවකවත් ශතයක් දාලා නැහැ. මේ වගේ කුරිරු මිනිස්සු ගැන නීතියෙන් බලලා වැටුපක් හා වන්දි මුදලක් අරන් දෙනවා නම් එයාගේ අනාගතය සාර්ථක වෙයි. නැති නම් වසර 26ක් දුක්වින්ද ඇයට නැවතත් දුක් විඳින්න වෙයි.”

පද්මා කුමාරි නැවත නිවසට පැමිණීම ද අපූරු අකාරයට සිදුවී ඇත. වැටුපක් ලෙස කිසිදු මුදලක් නොලැබී ඇති ඇයට කොළඹ සිට ගම්පොළ ගිරාඋල්ල නිවසට ඒමට මුදල් සොයා ගැනීම දුෂ්කර වී ඇත. නමුත් කුඩා කළ සිට ඇය හදා  වැඩු නිවසේ බාල පිරිමි ළමයා තුරුණුවියට පැමිණි පසු රැකියාවක නිරත වී සිටී; ඔහුගේ ඇඳුම් පැළඳුම් සේදීමේදී එවැනි අමතක වී ඇති සුළු සුළු මුදල් ඇය එකතු කර ගෙන තිබේ. අවසානයේ එම මුදල රැගෙන ඇය පාරට බැස තිබේ.

පද්මාකුමාරි නිවසට පැමිණි පසු ඇය පිළිබඳව නැවතත් නාවලපිටිය පොලිසියට දැන්වීමෙන් පසු වෛද්‍ය පරීක්ෂණ සදහා ඇය නාවලපිටිය රෝහලට ඇතුළත් කළ අතර අද (19) දින ඇය නැවතත් නිවසට පැමිණියේය.
ගඟ ඉහළ ප්‍රාදේශිය ලේකම් මංගල වික්‍රමාරච්චි මහතා වෙත මේ පිළිබඳව දැන්වීමෙන් පසු වසමේ ග්‍රාමනිලධාරි නිහාල් ගුණපාල මහතා මඟින් අවශ්‍ය කටයුතු කිරීමට උපදෙස් ලබා දී ඇත.
නාවලපිටිය පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණයක් අරඹා ඇත.

වාර්තාව - එස්.ඩී.රාජනායක - ගම්පොළ