ඝාතනයට ලක්‌ වූ රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් මියයැමට පෙර ඔහුගේ වාහනය ලුහු බැඳ පැමිණි වාහනයේ සී. සී. ටී. වී. දර්ශන ඇතුළත් වීඩියෝ පටය කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශය වෙත යොමු කොට වාර්තාවක්‌ ලබා ගන්නා ලෙස කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්‌කි මහතා ඊයේ (19 දා) නියෝග කළේය.
තාජුඩීන්ගේ රථය ලුහුබැඳි වාහනයේ සිද්ධියට අදාළව පරීක්‌ෂණ පවත්වන අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක්‌ කෙරෙහි සැලකිලිමත් වෙමින් මහෙස්‌ත්‍රාත්වරයා එලෙස නියෝග කළේය.

පැමිණිල්ල කැඳවූ අවස්‌ථාවේදී ඝාතනයට අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීමේ චෝදනා යටතේ රක්‌ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු නිsයෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක හා නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක සුමිත් පෙරේරා යන දෙදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබූහ.

වැඩිදුර වාර්තාවක්‌ මඟින් කරුණු දැක්‌ වූ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව ඝාතනයට ලක්‌වූ තාජුඩීන්ගේ වාහනය ලුහුබැඳ පැමිණි වාහනය සම්බන්ධයෙන් පරීක්‌ෂණ පවත්වන විටදී එහි පුද්ගලයන් කීප දෙනකු සිටි බවට කරුණු අනාවරණය වී ඇති බවත් වැඩිදුර පරීක්‌ෂණ සඳහා එම වාහනයේ සී. සී. ටී. වී. දර්ශන ඇතුළත් වීඩියෝ පටය කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨය වෙත යොමු කොට වාර්තාවක්‌ ලබා ගැනීමට නියෝගයක්‌ නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

ඝාතනයට ලක්‌ වූ තාජුඩීන්ගේ පශ්චාත් මරණ පරීක්‌ෂණය නිසියාකාරව නොපැවැත්වීම සම්බන්ධයෙන් හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර මහතාට එරෙහිව තවදුරටත් විමර්ශන පවත්වන බවද ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අධිකරණයට දන්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්‌ත්‍රාත්වරයා සැකකරුවන් දෙදෙනා ලබන පෙබරවාරි 02 දා තෙක්‌ තවදුරටත් රක්‌ෂිත බන්ධනාගාරගත කර තබන ලෙසත් එදිනට සිද්ධියට අදාළව පවත්වන පරීක්‌ෂණයේ ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් නියෝග කළේය.

(සමන්ත ඉලේපෙරුම)