වරාය අධිකාරියට තමන්ව බදවා ගන්නා ලෙසත් චීන සමාගමට හම්බන්තොට වරාය ලබා නොදෙන ලෙසත් ඉල්ලා හම්බන්තොට මාගම්පුර වරායේ සේවකයන් විසින් දියත් කර තිබූ විරෝධතාවට නාවික හමුදාව ප්‍රහාරයක් එල්ල කළේය.එයින් සේවකයන් පස් දෙනෙකු හා එය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් දෙදෙනෙකු තුවාල ලැබීය.
හම්බන්තොට වරායේ  482 ක් සේවක පිරිස දියත් කර තිබූ වැඩවර්ජනය නිසා නැංගූරම්ලා තිබූ චීනයේ සිට හා සිංගප්පුරුවේ සිට පැමිණි නැව් 2 ක් පිටත්ව යාමට නොහැකි තත්වයක් උද්ගත වී තිබූ අතර ඊයේ පෙරවරු 10 ට පමණ  වරායේ හිරවි ඇති  වාහන රැගත් නැව මුදා ගැනීමට නාවික හමුදාව
500 ක පමණ  කණ්ඩායමක් වරායේ නැගෙනහිර කොටසේ ‍තෙල් පර්යන්තය දෙසට ළඟා විය.
ඒ වනවිට වරායේ සේවකයින් වරායේ ජැටියේ, සහ වරාය ප්‍රධාන දොරටුව අසල විරෝධතාවයේ නියැලී සිටියහ.  නාවික හමුදා නිළධාරින් ඩෝරා යාත්‍රා මගින් වරාය ජැටිය
වෙත ළඟා වූයේ වරායේ ජැටියේ රැඳී සිටි සේවකයින්ට වෙඩි පහර එල්ල කරමින් බව වරාය සේවක සංගමයේ ප්‍රචාරක නිළධාරි අයි.එච් උමේෂ් මහතා සඳහන් කළේය.
වරාය ජැටියේ සිටින සේවකයින්ට නාවික හමුදා නිළධාරින් පැමිණ  ගිනි අවිවලින් හා පොලුවලින් පහර දුන් බවද උමේෂ් මහතා කීය. පහර කෑමට ලක් වූ පස් දෙනෙකු    හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති බවද ඔහු පැවැසීය. මොන බාධක පැමිණියත් තම විරෝධතාවය නොනවත්වන සේවකයෝ කියති.
( රාහුල් සමන්ත )