දිල්රුක්ෂි අස්වීම ජනපති භාර නොගනී
- අගමැති එනකං ඉන්න කියලා

පසුගියදා පදනම් ආයතනයේ පැවති රැස්වීමකදී ජනපති මෛත්‍රිපාල සිරිසේන සිදු කළ කථාවක් පසුබිම් කරගෙන අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්‍ෂි ඩයස්‌ වික්‍රමසිංහ මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් ජනාධිපති කාර්යාලය වෙත 17 වන සඳුදා දිනයේ භාර දුන්නා. එම අවස්ථාවේ ජනපතිවරයා ඉන්දියාවේ සංචාරය කළ නිසා ජනපති ලේකම්වරයා එය භාරගෙන ජනපතිට යොමු කරන බව දන්වා තිබුණා. තමන්ගේ අස්වීම භාරගන්නා තුරු ධූරයේ කටයුතු කළ යුතු නිසා ඇය ඊයේ 18 ත් වැඩට ආ නමුත් ජනපතිවරයා ලංකාවට ආ පසුවත් ඇගේ ලිපියට කිසිවක් උත්තර දී තිබුනේ නැත.
මේ අතර අද 19 වාර්තාවන්නේ
ඇගේ ලිපිය කියවූ ජනපතිවරයා ඇයගේ අස්වීම භාරගන්නවාද නැද්ද යන්න අගමැතිවරයා බෙල්ජියමේ සිට පැමිණි පසුව තීරණය කරන්නට  පසුවට තබාගත් බවයි. ඒ නිසා දිල්රුක්ෂි මහත්මිය තවදුරටත් සේවයේ යෙදී සිටින්නීය.
එෆ්සීඅයිඩීය, සීඅයිඩීය හා අල්ලස් කොමිසම ඇතැම් දේ කර ඇත්තේ තමන්ට නොදන්වා බවත්


දේශපාලන න්‍යාය පත්‍රයකට වැඩ කරන බවත් ජනපතිවරයා කීමෙන් පසු මෙම දැඩි තීරණයට දිල්රුක්ෂි මහත්මිය එළැඹ තිබුණි.

කෙසේ වෙතත් ඇගේ අස්වීමෙන් පසු විවිධ අය විවිධ අදහස් ඒ ගැන පවසා ඇත. ඊයේ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා කියා සිටියේ ඇගේ අස්වීම සිදු කළේ ජනපතිගේ කතාව නිසාම නොව ඉදිරියේදී මහ බැංකු බැඳුම්කර සම්බන්ධ කෝප් වාර්තාවෙන් කරුණු හෙළීවූ පසුව ඇයට ඒ ගැන මැදිහත්වී කරුණු විමසන්නට සිදුවීමෙන් මිදෙන්නට එය සිදු කළ බවකි.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ උදය ගම්මංපිල හා ජාතික නිදහස් පෙරමුණේ මුසම්මිල් මහත්වරුන් කියා සිටියේ ඇය අස්වීම එම කොමිසම්වල යහපතට හේතුවනු ඇති බවයි. ජනපති කතාවේදී එෆ්සීඅයිඩීය, සීඅයිඩීය නම් ගැවී ඇති නිසා හැකිනම් පොලිස්පතිවරයාටද ඉල්ලා අස්වෙන්නැයි එම දෙදෙනා කියා ඇත.
මේ අතර ඇමති පාඨලී චම්පික කියා සිටියේ මෙම පුටුවල සිටින පුද්ගලයන් අදාළ නැති බවත් කරන්න අමාරු නම් කරන්න පුළුවන් අයට භාරදී යාම ගැන ගැටලුවක් නැති බවත්ය.

කෙසේ වෙතත් අල්ලස් හා දූෂණ විමර්ශනය සම්බන්ධයෙන් පසුගියදා රටේ පැසසුමට ලක්වූ ‘මහා රේගු වංචාව‘ ඇතුළු කාර්ය කිහිපයක්ම දිල්රුක්ෂි මහත්මියගේ පාලන කාලයේදී සිදුව තිබෙන අතර ඇය පසුගිය රජයේ මැතිඇමතිවරුන් දිගින් දිගටම ප්‍රශ්නවලට පැටලවූ නිසා එක් පිරිසකගේ දෝෂ දර්ශනයටද ලක්ව තිබේ.

අගමැතිවරයා දිවයිනට පැමිණි පසු ඇගේ තීරණය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.