මෛත්‍රිපාල සිරිසේන දොඩම්ගස්ලන්දේ නිවසක 
ජනපතිවරණදා රාත්‍රිය ගත කළ කතාව

ජනපති මෛත‍්‍රිපාල සිරිසේන 2015 ජනවාරි 8 වනදා ජනපතිවරණය ජයග‍්‍රහණය කරද්දී එම ප‍්‍රතිඵලය රූපවාහිනියෙන් නරඹමින් සිටින ඡායාරූපයක් පසුගිය කාලයේ ප‍්‍රචාරය වුණා. එම අවස්ථාවේ ඔහු සිටියේ රහසිගත ස්ථානයක බව කලකට පසුව දැන් අනාවරණයවී තිබෙනවා. මෛත‍්‍රිපාල ජනපතිවරයාගේ දීර්ඝ කාලින හිතවතෙකුවූ කුරුණෑගල දොඩම්ගස්ලන්දේ වාසය කරන ව්‍යාපාරික කිරාන් අතපත්තු මහතාට අයත් නිවසක ජනපතිවරයා ඇතුළු පවුල කිසිවෙකුට නොදන්වා එදින රාත‍්‍රී එම නිවසට සේන්දුවී ඇත. ප‍්‍රතිඵලය වෙනස් වුවොත් කොළඹට හමුදාව යොදවා කිසියම් කුමන්ත‍්‍රණයක් සිදුවන බවට ඉව වැටී
මේ ආකාරයට සැඟව තිබේ. එම කාලයේ දුරකථන ටැප් කිරීමේ ක‍්‍රමවේදයක් පැවති නිසා ඔහු එහි එන බව කල් ඇතිව සැලසුම් කර ඇත්තේද සංඥා ක‍්‍රමයකටය.

මේ සියලූ විස්තරය අනාවරණය කරමින් පුවත්පතකට කිරාන් අතපත්තු ලබාදී තිබෙන විස්තරය පහතින්

ජනාධිපතිවරණය පැවැත්වූ දිනයේදී ඔබලා මොනවාද කළේ?
ජනාධිපතිවරණයට පෙර දිනයේදී අපි කොළඹ සිට ‍පොළොන්නරුවට ගියා. අපි දෙන්නා එකම වාහනයේ ගියේ. යන විට වාහනයේ ඔහු නිදාගෙන ගියේ. ඒ අතර අපිට දුරකථන ඇමැතුම් ලැබුණා. ඉතාම විශ්වසනීය අයුරින් කිව්වේ හමුදාවේ අය කොළඹට දාන්න යනවා කියලයි. ඒ වෙලාවේ ඔහු නිදන නිසා ටික වේලාවකින් ඇමතුම සම්බන්ධ කරලා දෙන්නම් කිව්වා. ඔහු නැගිට්ටාට පස්සේ ඔවුන් දෙදෙනා දුරකථනයෙන් සම්බන්ධ කරවලා දුන්නා. එදා අපි දඹුල්‍ලේ “පෙරේරා ඇන්ඩ් සන්ස්” එකේ නවත්තලා තේ බිව්වා. තේ බිලා යන විට ඉනාමළුව හරියේදී තමයි ඡන්දේ දාල ඉවර වෙලා අපේ ගෙදර එනවා කියලා කිව්වේ. මට වහාම කුරුණෑගල ගිහින් අවශ්‍ය කටයුතු කරන්න කිව්වා. ඒක කාටවත් කියන්න එපා කිව්වා. ඔහු ඡන්දය දාලා එන්නේ කොහේද කියලා කවුරුවත් දැනගත්තේ නැහැ.



ඡන්දය දවසේ ඔබලා මොනවාද කළේ?
අපිට කරන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. ඡන්දෙ දවසේ පහමාරට හයට විතර දුරකථන ඇමතුමක් ලැබුණා. ඔහු මගෙන් ඇහුවේ කොහේද ඉන්නේ කියලයි. මම කොළඹ ඉන්නවා කියලා කිව්වා. එ අපේ දුරකථන ටැප් කරලා තිබෙන නිසා. ඒ වෙලාවේ ජනාධිපතිතුමත් මම කොළඹ එන්න පිටත් වෙනවා කියලා කිව්වා. ඒ කියන්නේ දොඩම්ගස්ලන්දේ මගේ ගෙදරට එන්න සූදානම් වෙන එක බව මම දැනගත්තා. මමත් සූදානම් පිට හිටියා.

මෛත්‍රීගේ ආරක්ෂාව වෙනුවෙන් මොනවාද කළේ?
අපිට වෙන කිසිම ආරක්ෂාවක් තිබුණේ නෑ. එදා ගෙදරදී ඔහුට තිබුණ එකම ආරක්ෂාව මම විතරයි. වෙන කවුරුවත් හිටියේ නෑ. මම විතරයි ගෙදර හිටි එකම පිරිමියා. ජනාධිපතිතුමා එන්න පැයකට විතර කලින් මගේ බිරිඳගේ සහෝදරයා ගෙදරට ගෙන්වාගත්තා. මගේ ගෙදර කන්දක් උඩ තිබෙන්නේ. ජනාධිපතිතුමා ඡන්දය දවසේ රෑ එනවා කියලා කවුරුවත් දැනගෙන හිටියේ නැහැ. මගේ නෝන විතරයි දැනගෙන හිටියේ. එදා ගෙදර සිටි සේවකයන් හැමෝම ගෙදරින් පිටත් කළා. මගේ ගෙදර ලයිට් දෙසීයක් පත්තු වෙනවා. ඒ ලයිට් සේරම නිවලා දැම්මා. ඔහු වාහනයෙන් ආවා. වාහනයෙන් බහින තැන ඉඳලා ටික දුරක් ගේ ළඟට යන්න පයින් යන්න වෙනවා. මම ‍පොඩි ටෝච් එළියකින් තමයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගේ ඇතුළට අරගෙන ගියේ.

එතකොට ඔහුගේ පවු‍ලේ අය?
ඔහු ඇවිත් විනාඩි දහයකින් විතර තවත් වාහනයක් ආවා. ඒ වාහනයේ ආවේ ඔහුගේ බිරිඳ. ඇය කාර් එකෙන් බැහැලා මිස්ටර් කිරාන් ඔයා මේ රහස මගෙනුත් හැංගුවා කියලා කිව්වා. පසුව දූවරුන් හා පුතාත් ආවා.



ඔබේ නිවසට පැමිණි මෛත්‍රී මොකද කළේ?

ඔහු බොහෝම සැහැල්ලුවෙන් හිටියා. ඒ වන විටත් ජනාධිපතිවරණය ජයගෙන ඇති බව ඔහු දැන සිටියා. කිසිම දුරකථන ඇමතුමකට උත්තර දුන්නේ නෑ. රෑ නමයහමාරට විතර කෑම කාල මගේ කාමරයේ නිදාගත්තා. ඡන්ද ප්‍රතිඵල ඇහුවේ මමයි, ජනාධිපතිතුමාගේ පුතයි, බෑනයි. ඔහු නින්දට ගියේ තමන් මැතිවරණයෙන් ජයගෙන බව දැනගෙනයි. ඔහු නැගිට්ටේ උදේ හතරට විතර. උදේ පාන්දර රනිල් වික්‍රමසිංහ ඔහුට දුරකථන ඇමතුමක් දුන්නා.

එතකොට මහින්ද රාජපක්ෂ කතා කළේ?
උදේ පහට විතර මහින්ද රාජපක්ෂ කතා කළා. ඒ වෙලාවේ මම ළඟ හිටියේ. මහින්ද රාජපක්ෂ ඔහුට සුබ පැතුවා. ඒ වෙලාවේත් ඔහු මහින්ද රාජපක්ෂට කතා කළේ සර් කියලා. තැන්කියු සර් කියලා සුබපතන විට කිව්වා. ඔහුට සර් කියන්නේ නැතිව ඉන්න තිබුණා. ඒත් නිහතමානීව සර් කියලා කතා කළා. ඉන් පසුව උදේ තේ බිලා අට වන විට නිවසින් පිටත් වෙන්න ඕන කියලා කිව්වා. උදේ හතට කිරිබත් කාලා අපි දෙන්නාම උදේ අටට ගෙදරින් පිටත් වුණා.

කොළඹදී මොකද කළේ?

කොළඹ ගෙදරට ඇවිත් විනාඩි පහක් විතර ඉඳලා මැතිවරණ ‍ලේකම් කාර්යාලයට ආවා. පසුව මම නැවත දොඩම්ගස්ලන්දට ගියා. දිවුරුම් දෙන වෙලාවේ මම මගේ ගෙදර හිටියේ.


-සාකච්ඡාව- සංජය නල්ලපෙරුම (ලක්බිම)