කොටි සංවිධානය අරඹන්න කලින්
ප‍්‍රභාකරන්ගේ රොබරි ගැන
මස්සිනා සිවාජිලිංගම් හෙළි කරන රහස්

පසුගිය සතිඅන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදී තිබෙන ප‍්‍රභාකරන්ගේ මස්සිනා ලෙස ප‍්‍රකට එම්. කේ. සිවාජිලිංගම් කොටි නායක ප‍්‍රභාකරන්ගේ ළමා කාලය හා බැඳුණු සිද්ධි රැසක් ගැන අනාවරණයක් සිදු කර තිබෙනවා.
එහිදී ඔහු පවසන්නේ ප‍්‍රභාකරන් කොටි සංවිධානය බිහිකරන්නට පෙර නීති විරෝධී ක‍්‍රියා රැසක නිරතවූ බවත් සාර්ථක මංකොල්ලකරුවෙකු වූ බවත්ය. ප‍්‍රභාකරන්ගේ සොයුරු සොයුරන්ද මේ වනවිට ලෝකයේ රටවල් කිහිපයක ජීවත්වන බවද
ඔහු හෙළී කර තිබෙනවා. එම සාකච්ඡාව පහතින්

කොටි සංවිධානයේ නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් සමඟ ඔබගේ තිබුණේ මොන වගේ සම්බන්ධයක්ද?
අපි දෙන්නම පොඩි කාලේ ඉඳලා හොඳට හඳුනනවා. හොඳ මිත‍්‍රයෝ. ප‍්‍රභාකරනුයි, මගේ අයියයි එක පන්තියේ ඉගෙන ගත්තේ. අපේ ගෙවල් අතර පරතරය මීටර් 100ක්වත් නැහැ. ඒ වගේම අපි ළඟ ඥාතීන්.

ප‍්‍රභාකරන්ට තිබෙන ඔබගේ නෑකම මොකක්ද?
ක‍්‍රම දෙකකට නෑකම් වෙනවා. මගේ එක මාමා කෙනෙක් බැන්දේ ප‍්‍රභාකරන්ගේ එක කුසේ උපන් අක්කා. තව මාමා කෙනෙක් බැන්දේ ප‍්‍රභාකරන්ගේ නැන්දා. ප‍්‍රභාකරනුයි, මායි කතා කරගන්නේ මස්සිනා කියලා.


ප‍්‍රභාකරන්ගේ ළමා කාලය ගත වුණේ කොහොමද?
ප‍්‍රභාකරන් මුලින්ම පාසල් ගියේ මඩකළපුව මහජන කොලේජ් එකට. ප‍්‍රභාකරන්ගේ පියා රජයේ සේවකයෙක් නිසා ඔහු සේවය කරන ප‍්‍රදේශවලට ප‍්‍රභාකරන්ට යන්න වුණා. ඉන්පසුව වැල්වැටිතුරේ සිවඥාන විද්‍යාලයටත් ඉන්පසුව අපි ඉගෙන ගත්තු වැල්වැටිතුරේ සිදම්බරන් විද්‍යාලයටත් ප‍්‍රභාකරන් ඉගෙන ගන්න පැමිණුනා.

පාසල් කාලෙදි මොනවද කරපු ක‍්‍රීඩාවන්. කරපු සෙල්ලම් එහෙම මතකද?
මගේ ලොකු අයියා ඉන්ද්‍රලිංගම්, ප‍්‍රභාකරන් එකම පන්තියේ හිටපු නිසා ඒගොල්ලන් පාසල් කාලෙදි එකට සෙල්ලම් කළා. අයියා ඉන්න නිසා ඒ සෙල්ලම් බලන්න මාත් යනවා. මාත් සමහර අවස්ථාවලදී සෙල්ලම් කරලා තියෙනවා. වැඩිපුර සෙල්ලම් කරන්නේ පාපන්දු. නමුත් ප‍්‍රභාකරන් වැඩියෙන්ම කැමැති කැටපෝලයෙන් ඉලක්ක කරලා කුරුල්ලන්ට විදින්න. කැටපෝලය ඉස්කෝලේ හංගලා තියලා විවේක කාලෙදි ඒක අරගෙන කුරුල්ලන්ට විදිනවා. අපි පොඩි ළමයි. අපිට එයා කියනවා ගල් අහුලලා දෙන්න කියලා. අපි අහුලලා දෙනවා. ඉඳලා හිටලා සමහර ළමයින්ටත් කැටපෝලයෙන් කුරුල්ලන්ට විදින්න අවස්ථාව ලබා දෙනවා. ඉස්කෝලෙ ඉවර වෙලා හවස සෙල්ලම් කරන කොට පොඩි ෂොට් ගන් වගේ සෙල්ලම් තුවක්කුවකිනුත් කුරුල්ලන්ට වෙඩි තියනවා.

ප‍්‍රභාකරන් අනෙක් පාසල් ළමයින් සමඟ සහයෝගයෙන් හිටියාද?
ප‍්‍රභාකරන් හුඟක් නිශ්ශබ්දයි. එයා වැඩිය අනෙක්
ළමයින් සමඟ ගැවසුණේ නැහැ. ප‍්‍රභාකරන්ගේ තාත්තා හුඟක් සැරයි. ප‍්‍රභාකරන්ට ?ට ගෙදරින් එළියට බහින්න තහනම්. අඩුම ගණනේ එයාට සරමක් ඇඳගෙනවත් පාරට බහින්න තාත්තා ඉඩ දෙන්නේ නැහැ. කොට කලිසම ඇඳගෙන තමයි ප‍්‍රභාකරන් බොහෝ විට එළියට එන්නේ. අපි නම් සරොම් ඇඳගෙන පාරේ යනවා.

ප‍්‍රභාකරන් ඉගෙන ගන්න වැඩියෙන් කැමැති වුණු විෂයන් මොනවාද?
එහෙම විශේෂයක් තිබුණේ නැහැ. පොඩි කාලේ ඉඳලා විවිධ වීර කතා කියවන්න කැමැතියි. පිටරටවල සටන් කරලා ජයග‍්‍රහණය කරපු වීරයන් ගැන කියවනවා. ත‍්‍රාසජනක ක‍්‍රියාදාම චිත‍්‍රපට, සටන් චිත‍්‍රපට නරඹන්නත් ප‍්‍රභාකරන් තුළ විශේෂ උනන්දුවක් තිබුණා. මගේ වැඩිමහල් සහෝදරයා ප‍්‍රභාකරන්ගේ යාළුවානේ. මගේ අයියගේ උපන් දිනයකට ප‍්‍රභාකරන් අපේ ගෙදර ආවා. එයා තෑග්ගක් ගෙනැල්ලා තිබුණා. සුභාෂ් චන්ද්‍රබෝස්ගේ ජීවන චරිතය ඇතුළත් ග‍්‍රන්ථයයි ප‍්‍රභාකරන් අයියට තෑගි කළේ. මට හොඳට මතකයි ප‍්‍රභාකරන් මිතුරාගෙන් කියලා ඒ පොතේ ප‍්‍රභාකරන් අස්සන් කරලා තිබුණා.

ඊට පසුව ප‍්‍රභාකරන්ගේ අධ්‍යාපනයට සිදු වුණේ මොකක්ද?
ප‍්‍රභාකරන් හරියට අධ්‍යාපනය කළේ නැහැ. සාමාන්‍ය පෙළට සූදානම් වෙන්න ප‍්‍රභාකරන් වැල්වැටිතුරේ සිදම්බරන් විද්‍යාලයෙන් අයින් වෙලා වවුනියාව මධ්‍ය මහා විද්‍යාලයට ගියා. එතකොට වවුනියාවේ දිස්ත‍්‍රික් ඉඩම් නිලධාරියා ලෙස ප‍්‍රභාකරන්ගේ පියා සේවය කළා. එහේදීත් ප‍්‍රභාකරන් හරියට අධ්‍යාපනය කළේ නැහැ. ඒක ගැන ප‍්‍රභාකරන්ගේ පියා හිටියේ හිතේ අමාරුවෙන්. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්න කලින් ප‍්‍රභාකරන් පාසල් අධ්‍යාපනයට සමු දුන්නා. ඊට පස්සේ කල්ලි ගැහුණා. කැලේ පැන්නා. දෙමළ දේශපාලන පක්ෂවලට සම්බන්ධ වුණා.


පාසල් යන කාලේ ප‍්‍රභාකරන්ට පේ‍්‍රම සම්බන්ධතා එහෙම තිබුණද?
නැහැ. සමහර තරුණියෝ ප‍්‍රභාකරන් ගැන උනන්දු වුණාට ප‍්‍රභාකරන්ට ඒ ගැන නම් කිසිම උනන්දුවක් තිබුණේ නැහැ.

පාසල් කාලයෙන් පසුව ප‍්‍රභාකරන් කළේ මොනවාද?
කැලේ පැනලා හිටියා. කුඩා කණ්ඩායම් ඒකරාශි කරගෙන එක එක රොබරිවලට (කොල්ලකෑම් වැනි දේවල්වලට) සම්බන්ධ වුණා. මුදල් සොයන්න තමයි ප‍්‍රභාකරන් ඒවා කළේ. ප‍්‍රභාකරන් 80 දශකයෙ මුල ටෙලෝ සංවිධානයට එකතුවෙලා එක එක රොබරිවලට ගියා. නිලාවේලි මහජන බැංකුව කොල්ලකෑම එක සිද්ධියක්.1981 ඒ කොල්ලකෑමෙන් රුපියල් 81 ලක්ෂයක් කොල්ලකන්න පුළුවන්වුණා. ඒක ඒ කාලෙ හැටියට අති විශාල මුදලක්.ඒ රොබරිවලට මං සම්බන්ධ වුනේ නෑ.

ප‍්‍රභාකරන් වැඩිපුරම කන්න ආස මොනවාද?
පැණි රස ජාතිවලට තමයි වැඩිපුර කැමැති. අලියා බීම බොන්නත් ප‍්‍රභාකරන් හරිම කැමැතියි. බත් කන්න
එයා වැඩිපුර ආස නැහැ. ඒත් කොත්තු රොටි කන්න ප‍්‍රභාකරන් හරිම ආසයි.

ප‍්‍රභාකරන්ගේ විනෝදාංශ එහෙම මොනවාද?
එම්.ජී. රාමචන්ද්‍රන්ගේ චිත‍්‍රපට හරියට බලනවා. එම්.ජී.ආර්.ට ප‍්‍රභාකරන් හුඟක්ම කැමැතියි. ඊට අමතරව ක‍්‍රියාදාම බටහිර චිත‍්‍රපට බලන්නත් ප‍්‍රභාකරන් තුළ ආශාවක් තිබුණා. යුද්ධ ඇසුරෙන් නිර්මාණය කරන ලද චිත‍්‍රපට බලන්නත් ප‍්‍රභාකරන් තුළ කැමැත්තක් තිබුණා.

චිත‍්‍රපට බැලූවේ කොහේද?
ඒ කාලේ දැන් වගේ ඞී.වී.ඞී. ප්ලේයර් නැහැ. පරිගණක නැහැ. වැල්වැටිතුරේ රංජනා තියටර්, යෝගනායි තියටර් කියලා චිත‍්‍රපට හෝල් දෙකක් තිබුණා. මේ හෝල් දෙකේම ප‍්‍රභාකරන් චිත‍්‍රපට බැලූවා. මාත් ඒ හෝල් දෙකේ චිත‍්‍රපට බලලා තියෙනවා. යාපනයේ හෝල්වලත් චිත‍්‍රපට බැලූවා. පොලිසිවලින් හොයන කාලෙත් ?ට එක එක චිත‍්‍රපට හෝල්වල ප‍්‍රභාකරන් චිත‍්‍රපට බැලූවා.

ප‍්‍රභාකරන්ට බිරිය මදිවදිනීව මුණගැහුනෙ කොහොමද?

මදිවදනී යාපනය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ශිෂ්‍යාවක්. වරක් යාපනය සරසවියේ හතක් අටක් උපවාසයක් ආරම්භ කළා.ඒ ආන්ඩුවෙ අධ්‍යාපන ප‍්‍රතිපත්ති වලට විරුද්ධව. මේ උපවාසය නවත්තන්න කියලා කොටි සංවිධානය කිව්වත් ඒක ඇහුවෙ නෑ. ඉන් පස්සෙ කොටි සංවිධානය මේ අයව ඉන්දියාවට එක්කරගෙන ගියා. එහෙදි පැවැත්වෙච්චි හෝලි උත්සවයකදි මදිවදිනී එක්වරම ප‍්‍රභාකරන්නෙ මුහුණේ පාට ගෑවා. සාමාන්‍යයෙන් ඒ වගේ දෙයක් ප‍්‍රභාකරන්ට කවුරුවත් ඉන් ඉස්සර කරල නෑ. ඒ සිද්ධියෙන් පස්සෙ තමා දෙන්නා ආදරය කරල තියෙන්නෙ.

ප‍්‍රභාකරන්නේ සහෝදර සහෝදරියො තාම ඉන්නවද?
ප‍්‍රභාකරන්ගෙ අයියා මනෝහරන් ඉන්නේ ඩෙන්මාර්ක්වල, එක අක්කා කෙනෙක් ඉන්නෙ චෙන්නායි වල, තව අක්කා කෙනෙක් ඉන්නෙ කැනඩාවෙ.


සාකච්ඡාව- ඩබ්.කේ.ප‍්‍රසාද් මංජු (මව්බිම)