පරිපාලන නිලධාරීන්ට ළඟදීම සිංගප්පූරු පුහුණු වරම්

ශ‍්‍රී ලංකාවේ පරිපාලන සේවය කාර්යක්ෂම කිරීමේ අරමුණින් එම නිලධාරීන්ට ඉදිරි වකවානුවේ සිංගප්පූරුවේ පුහුණු වැඩසටහන් ලබාදීමට රජය සැලසුම් සකස් කර තිබේ.
ආසියානු කලාපයේ දියුණුවට පත්ව තිබෙන සිංගප්පූරුව වැනි රටක පරිපාලනය සම්බන්ධ අත්දැකීම් රැසක් ලබාගත හැකි අතර විශේෂඥ පුහුණුව ලබාදෙන
සිංගප්පූරුවේ සිවිල් සේවා විද්‍යාලය ලංකාව


වෙනුවෙන් මෙම පාඨමාලා ආරම්භ කිරීමට අගමැති රනිල්ගේ සිංගප්පූරු සංචාරයේදී කැමැත්ත පළ කර ඇත.
අගමැති රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ දූත පිරිස අද(19)පෙරවරුවේ සිංගප්පූරුවේ සිවිල් සේවා විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණු අවස්ථාවේ එරට සිවිල් සේවා විද්‍යාලයීය ඉහළ නිලධාරීන් මේ වෙනුවෙන් ඉදිරියේදී කටයුතු කරන්නට කැමැත්ත ලබාදී ඇත.
ඒ අනුව ශ‍්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය සහ සිංගප්පූරු සිවිල් සේවා විද්‍යාලය අතර දැනට ක‍්‍රියාත්මක වන පුහුණු වැඩසටහන් අනාගතයේ දී පුළුල් වනු ඇත.
ලංකාවේ රජයේ පරිපාලන නිලධාරීන්ට සිංගප්පූරුවට ගොස් පුහුණු වැඩසටහන් සඳහා සම්බන්ධ වන්නට ඒ අනුව අවස්ථාව සැලසෙනු ඇත.
මෙම ආයතනය පසුගිය වසරේ විදේශීය නිලධාරීන් 3,000 කට අධික සංඛ්‍යාවකට පුහුණුව ලබා දී ඇත.