womens-cricketers-win-icc-emerging-nations-cup

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන් නුවරදී අද (25) පැවති 2026 අයි.සී.සී. කාන්තා නැගී එන රටවල් කුසලාන (ICC Women’s Emerging Nations Trophy 2026) අවසන් මහා තරගයෙන් අයර්ලන්තය කඩුලු 6කින් පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

හර්ෂිතා සමරවික්‍රමගේ නායකත්වය යටතේ තරග වැදුණු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගය පුරාම සිය ආධිපත්‍යය පතුරුවමින් පන්දු 44ක් ඉතිරිව තිබියදීම ජයග්‍රහණය තහවුරු කර ගත්හ.




අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත ඉනිම ලකුණු 96කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් සමත් වීම ජයග්‍රහණයේ පළමු අඩිතාලම විය. පන්දුවාර 19.3ක් තුළ සියලු දෙනා දැවී ගිය අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලඇණියට නායකත්වය දුන් සත්‍යා සංදීපනී විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් සිය පන්දුවාර 4 තුළදී ලකුණු 13කට කඩුලු 4ක් දවා ගත්තාය. ඇයට අනගි සහායක් ලබා දුන් චේතනා විමුක්ති, සුගන්ධිකා කුමාරි, නිමාෂා මීපගේ සහ කවීෂා දිල්හාරි අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය. අයර්ලන්ත ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභිනිය වූ ඇලානා ඩැල්සෙල් පන්දු 27කදී ලකුණු 25ක් රැස් කළාය.

ජයග්‍රහණය සඳහා වූ ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකාරිනියන්ට එය එතරම් අභියෝගයක් නොවීය. පන්දුවාර 12.4ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 99ක් රැස් කරමින් ඔවුහු පහසු ජයග්‍රහණයක් කරා පියමැන්නහ. ශ්‍රී ලංකා ඉනිමේ කැපී පෙනෙනම පිතිකාරිනිය වූ ඉමේෂා දුලානි පන්දු 25කින් නොදැවී ලකුණු 44ක් රැස් කළේ හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟිනි. සංජනා කවින්දි පන්දු 22කදී ලකුණු 25කින් ඉනිම ශක්තිමත් කළ අතර, පන්දු 10කදී නොදැවී ලකුණු 16ක් රැස් කළ නිලක්ෂිකා සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය වෙත රැගෙන යෑමට දායක වූවාය.




අයර්ලන්තය වෙනුවෙන් පන්දු යැවීමේදී කියා මැක්කාර්ට්නි සහ කාරා මරේ කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුවද, ශ්‍රී ලංකා පිතිකාරිනියන්ගේ ප්‍රහාරාත්මක ගමන නතර කිරීමට එය ප්‍රමාණවත් නොවීය. පන්දු යැවීමෙන් මෙන්ම පිතිකරණයෙන්ද ප්‍රදර්ශනය කළ මෙම විශිෂ්ට දක්ෂතාව හමුවේ අයර්ලන්තය අභිබවා යමින් 2026 අයි.සී.සී. කාන්තා නැගී එන රටවල් කුසලානයේ ශූරියන් ලෙස අභිෂේක ලැබීමට හර්ෂිතා සමරවික්‍රම ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.