කුලුඳුල් දරුවා පිළිගැනීමේ අපේක්ෂාවෙන් රෝස පැහැති පුංචි ළදරු ඇඳුම් නවමින් සිටි ජනප්‍රිය සමාජ මාධ්‍ය නිර්මාණකාරිනියකගේ ජීවිතය, දින තුනක් ඇතුළත කිසිවෙකුත් නොසිතූ ඛේදනීය ඉරණමකට ගොදුරු වී තිබේ. ඒ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් මෙන්ම මෙරට දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ගේද ආදරය දිනාගත් 'නයෝමිචාන්' හෙවත් ආශා නයෝමි වීරවර්ධනය.
නොවැම්බර් 10 වැනිදා රාත්‍රියේ වාර්තා වූ ඇයගේ හදිසි අභාවය ජීවිතයේ අවිනිශ්චිතභාවය යළි යළිත් පසක් කර දෙන්නකි.සිය කුලුඳුල් දරුවා මෙලොවට බිහිවන දිනය ඇය මඟබලාගෙන සිටියේ අතිශය සුන්දර පවුල් ජීවිතයක් ගතකරන අතරතුරය. මරණයට දින තුනකට පෙර, එනම් නොවැම්බර් 7 වැනිදා මුදාහළ වීඩියෝවෙන් දකින්නට ලැබුණේ ගැබිනියකව සිටි ඇය කේචාන් සමඟ ළදරු වෙළෙඳසැල් වෙත යමින් අලුත් අමුත්තා වෙනුවෙන් හරිම ආසාවෙන් සූදානම් වන අයුරුය. එහෙත් ඒ සියලු බලාපොරොත්තු බිඳ දමමින් ඇයගේ අභාවය පිළිබඳ පුවත සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගියේ ඇගේ ප්‍රේක්ෂකයන් අදහාගත නොහැකි කම්පනයකට පත් කරමිනි.
ඇයගේ වියෝවත් සමඟ මරණයට නිශ්චිත හේතුව සම්බන්ධයෙන් විවිධ කටකතා සමාජ මාධ්‍ය පුරා සංසරණය වන්නට විය. ඊට පිළිතුරු දෙමින් මෙන්ම, තමන් මුහුණ දී සිටින අසීරු තත්ත්වය පැහැදිලි කරමින් ජපානයේ Soka University හි අධ්‍යාපනය ලබමින් පසුවන නයෝමිගේ නැගණිය වන අයේෂා වීරවර්ධන සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සජීවීව එක්වෙමින් සිදුවූ දේ පිළිබඳව නිවැරදිව හෙළිදරව් කළාය.
අයේෂා පවසන ආකාරයට, නයෝමිගේ මරණයට හේතුවී ඇත්තේ දරු ප්‍රසූතියේදී ඇතිවූ සංකූලතාවකි. ඇය සඳහන් කළේ 'වෝටර් බෑග්' (water bag) එක යට ජලය ඉතිරි වී එයින් අසාත්මිකතාවක් හටගෙන රුධිර වහනය පාලනය කරගැනීමට නොහැකි වූ බවයි. ඒ හේතුවෙන් මව හිරිවැට්ටීම වෙනුවට සම්පූර්ණයෙන්ම සිහිසුන් කර බිළිඳා පිටතට ගැනීමට වෛද්‍යවරුන් කටයුතු කර තිබේ. ඉන්පසුව ඇයට යළි සිහිය ලබාදීමට වෛද්‍යවරුන් දැඩි උත්සාහයක් ගෙන ඇත. එකොළහේ පමණ සිට හත පමණ වනතුරු පපුවට තෙරපුම් ලබාදෙමින් වෛද්‍යවරුන් කළ උත්සාහය අතරතුර, ඇයගේ දෙසවන් අසලට වී නැගිටින ලෙසට කෑගසමින් අයියා සහ තමන් ආයාචනා කළ බව අයේෂා සඳහන් කළාය. එක් අවස්ථාවකදී දෙවරක් නාඩි ක්‍රියාත්මක වූ බව පරීක්ෂණවලින් පෙන්වා දුන්නද, අවසානයේදී ඇයට ජීවිතය රඳවාගැනීමට නොහැකි විය.
මේ වන විට ඔවුන්ගේ අලුත උපන් බිළිඳා වෙනත් රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියි. රෝහල වෙත පැමිණි, මුදලින් උපකාර කිරීමට ඉදිරිපත් වූ මෙන්ම බිළිඳාට මව්කිරි ලබාදීමට පවා ඉදිරිපත් වෙමින් පණිවිඩ එවූ සියලු දෙනාටම ඇය සිය කෘතවේදීත්වය පළ කළාය.
තමන්ව මෙලෙස තනි කර දමා සහෝදරිය නික්ම යාම අයේෂාට තවමත් අදහාගත නොහැකි සිහිනයක් බඳුය. බොහෝ දෙනෙකුට ඇය ජනප්‍රිය සමාජ මාධ්‍ය තාරකාවක් වුවද, අයේෂාට ඇය පවුලේ සියලු වගකීම් පවරා නික්ම ගිය ආදරණීය අක්කාය. "කවුරුහරි හොරෙක් අරන් ගියා වගේ, මගේ අක්කා මැරුණේ නෑ" යැයි පවසන අයේෂාගේ හැඟීම්බර වදන්, කිසිදා නොසිතූ මොහොතක සිදුවූ මේ ඛේදවාචකයේ ගැඹුර මනාව කියා පායි. බලාපොරොත්තු සහගතව රෝහලට රැගෙන ආ ළදරු උපකරණ දකින විට තමන් කුමක් කළ යුතුදැයි සිතාගත නොහැකිව සිටින බව පවසන අයේෂා, නයෝමිට ආදරය කළ සැමට ස්තූති කරමින් ඇයට නිවන් සුව ප්‍රාර්ථනා කරන ලෙස ප්රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියාය.