දිවයිනේ ප්‍රදේශ රැසක ඉදිරි පැය 36 තුළ ගිගුරුම් සහිත වැසි සමඟ මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (නොවැම්බර් 06) පස්වරු 4:00ට නිකුත් කළ නවතම කාලගුණ අනාවැකිය මඟින් දැනුම් දෙයි.
මෙම නිවේදනයට අනුව, දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1:00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ යන පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කෙරේ. ඊට අමතරව, උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි හටගත හැකිය.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී. එමෙන්ම අලුයම් කාලයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව යන පළාත්වල ඇතැම් ප්‍රදේශවල මීදුම් සහිත තත්ත්වයක් ද පැවතිය හැකි බව සඳහන් වේ.
මේ අතර, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නොවැම්බර් 11 සහ 15 අතර කාලයේදී අඩු පීඩන කලාපයක් නිර්මාණය විය හැකි බවට ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විශේෂ කාලගුණ නිවේදනයක් මඟින් පෙන්වා දෙයි. මේ හේතුවෙන් බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවල ක්‍රියාත්මක වන බහුදින නාවික සහ ධීවර ප්‍රජාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස එම මධ්‍යස්ථානය අවධාරණය කරයි.