suryavanshis-204th-innings-breaks-many-cricket-records

පන්දුවාර පනහක් පුරා දහඩිය හෙළමින් ගොඩනැඟූ ලකුණු 249ක ඉලක්කයක්, පන්දුවාර 14යි පන්දු 2ක් තුළ සුණුවිසුණු වී යනු ඇතැයි සිතීම පවා එක්දින ක්‍රිකට් පිටියේදී අසීරු කරුණකි. එහෙත් නොවැම්බර් 24 වැනිදා පැවැති ආසියානු රයිසින් ස්ටාර්ස් එක්දින ක්‍රිකට් තරගාවලියේදී ඉන්දීය A කණ්ඩායමේ වෛභව් සූර්යවංශි එම අසීරු යථාර්ථය පිටිය මතදී නිර්මාණය කළේ A කණ්ඩායම් ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා පොත් එකින් එක අලුත් කරමිනි.




එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව පැවැති මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් එමීර් රාජ්‍ය ක්‍රීඩකයෝ නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 249ක් රැස් කළහ. එම ලකුණු සංඛ්‍යාව හඹා යෑමට පිටියට පිවිසි ඉන්දීය A කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 254ක් ලබාගනිමින් තරගය ජයගත්තේ පන්දුවාරයකට ලකුණු 17.72ක විස්මිත වේගයක් රඳවා ගනිමිනි.

මෙම අසාමාන්‍ය හඹා යෑමේ තනි නියමුවා බවට පත්වූයේ වෛභව් සූර්යවංශිය. ඉන්දීය A කණ්ඩායම රැස් කළ සමස්ත ලකුණු 254න් ලකුණු 204ක්ම තම පිත්තෙන් වාර්තා කිරීමට ඔහු සමත් වූ අතර, එම ඉනිමේදී ඔහුගේ පිතිකරණ ප්‍රහාරාත්මක වේගය 384.90ක් වැනි අතිශය ඉහළ අගයක පැවැතිණි.




පන්දු 28ක් පමණක් වැය කරමින් සිය ශතකය සම්පූර්ණ කළ සූර්යවංශි, A කණ්ඩායම් ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම ශතකය සඳහා වූ නව ලෝක වාර්තාව තම නම ඉදිරියෙන් ලියා තැබුවේය. එහිදී ඔහු විසින් බිඳහෙළනු ලැබුවේ ඕස්ට්‍රේලියාවේ ජේක් ෆ්‍රේසර් මැක්ගර්ක් පන්දු 29කින් ශතකයක් රැස් කරමින් පිහිටුවා තිබූ පෙර වාර්තාවයි.

එතැනින් නොනැවතුණු මෙම ඉන්දීය පිතිකරුවා එකම ඉනිමක් තුළ තවත් වාර්තා කිහිපයක්ම තමන් සතු කරගත්තේය. වේගවත්ම ලකුණු 150 සීමාව පසුකිරීමේ වාර්තාව මෙන්ම පන්දු 52කින් සිය ද්විත්ව ශතකය සම්පූර්ණ කරමින් වේගවත්ම ද්විත්ව ශතකය සඳහා වූ වාර්තාවද ඔහු අලුත් කළේය.



ඊට අමතරව A කණ්ඩායම් ක්‍රිකට් තරගවල එක් ඉනිමකදී වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කිරීමේ වාර්තාවද සූර්යවංශි විසින් මෙහිදී බිඳහෙළනු ලැබුවේ හයේ පහර 28ක් එල්ල කරමිනි. පන්දුවාර 50ක තරගයක් පන්දුවාර 15ක්වත් සම්පූර්ණ වීමට පෙර නිමාවට පත් කළ මෙම ඉනිම, වාර්තා පොත්වලට පමණක් නොව කණ්ඩායමේ සමස්ත ලකුණු පුවරුවටද තනි පිතිකරුවකු කළ ප්‍රබලතම ආක්‍රමණය ලෙස සටහන් විය.