sri-lankan-cricket-team-wins-asia-cup-among-rising-stars

වසර අටක දිගු නිහැඬියාවකට තිත තබමින් ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම 2026 නැගී එන තරු අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව තමන් සතු කර ගැනීමට සමත් විය. කටාරයේ දෝහා නුවරදී පාකිස්තාන 'ඒ' කණ්ඩායම සමඟ පැවති තියුණු අවසන් මහා තරගය කඩුල්ලකින් ජය ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙම ඓතිහාසික ජයග්‍රහණය වාර්තා කළහ.




අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන 'ඒ' කණ්ඩායම සිය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 216ක් රැස් කළේය. ඒ අනුව කුසලානය දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම හමුවේ පැවති ඉලක්කය වූයේ ලකුණු 217කි.

ලකුණු 217ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා ඉනිම තීරණාත්මක අවසානයක් කරා ඇදී ගියේය. කඩුලු 9ක් දැවී තරගය දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබූ මොහොතක පන්දුවාර 41යි පන්දු 3ක් තුළ ජයග්‍රාහී ඉලක්කය පසු කර යෑමට ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම සමත් විය.




තරගයේ අවසන් අදියරේදී අනපේක්ෂිත වීරයන් ලෙස පෙරට පැමිණි ගරුක සංකේත් සහ ළහිරු සමරකෝන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය සම්පූර්ණ කර දීමට සමත් වූ බව තරග විස්තර විචාරයේදී සඳහන් විය.

මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම නැගී එන තරු අතර ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාවක් දිනා ගත් තුන්වන අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක් වේ. වසර අටකට පසුව යළිත් වරක් එම කුසලානය ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමට කණ්ඩායමට හැකි විය.