හදිසියේම ඉහළ දැමූ ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැඩි තීරණයකට එළැඹ තිබේ. ඒ අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල අඩු කිරීමට පියවර ගන්නා ලෙසත්, එසේ නොකරන්නේ නම් පාරිභෝගිකයන් සතුව ඇති හිස් ගෑස් සිලින්ඩර යළි බාරගෙන ඒ වෙනුවෙන් ජනතාවට මුදල් ආපසු ගෙවන ලෙසත් ඔවුන් ලාෆ්ස් ගෑස් සමාගමට ඍජුවම දැනුම් දී ඇත.
ඉකුත් 13 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් සමාගම සිය ගෘහස්ථ ගෑස් මිල ගණන් විශාල වශයෙන් ඉහළ දැමීමට කටයුතු කළේය. මෙතෙක් රුපියල් 4,965ක්ව පැවැති කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල එකවරම රුපියල් 1,775කින් ඉහළ දමනු ලැබූ අතර, ඒ සමඟම එහි නව මිල රුපියල් 6,740ක් දක්වා ඉහළ ගියේය.
මෙම මිල වැඩි කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඊයේ (16) දිනයේදී ලාෆ්ස් සමාගමේ ඉහළ නිලධාරීන්ව විශේෂ සාකච්ඡාවක් සඳහා කැඳවනු ලැබීය. මිල අඩු කරන්නේද, නැතහොත් හිස් සිලින්ඩර වෙනුවෙන් පාරිභෝගිකයාට මුදල් ගෙවන්නේද යන දැඩි කොන්දේසිය සමාගම් නිලධාරීන් වෙත ඉදිරිපත් කර ඇත්තේ එම සාකච්ඡාවේදීය.
අධිකාරියේ මෙම දැනුම්දීමට ප්‍රතිචාර දක්වමින් ලාෆ්ස් සමාගමේ නිලධාරීන් එහිදී ප්‍රකාශ කර ඇත්තේ අද (17) දිනයේදී තම සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය රැස්වී මේ සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා කරන බවයි. ඉන් අනතුරුව ගන්නා තීරණය පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත දැනුම් දෙන බවද ඔවුන් එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ. ඒ අනුව, රුපියල් 6,740ක් දක්වා ඉහළ ගිය ගෑස් මිලෙහි ඉදිරි ඉරණම අද පැවැත්වෙන මෙම අධ්යක්ෂ මණ්ඩල රැස්වීමේදී තීරණය වනු ඇත.