radisson-blu-hotel-galadari-to-be-renamed-radisson-blu-hotel-galadari-after-purchase-by-radisson

වසර ගණනාවක් පුරා ක්‍රියාත්මක වූ පුළුල් නවීකරණ වැඩසටහනකින් අනතුරුව, කොළඹ කොටුවේ පිහිටි සුප්‍රසිද්ධ ගලදාරි හෝටලය නව පරිච්ඡේදයකට පියවර තබමින් ජාත්‍යන්තර සුඛෝපභෝගී සන්නාමයක් යටතේ ඊයේ (22) හඳුන්වා දෙනු ලැබීය. ඒ අනුව මෙම හෝටලය මින් ඉදිරියට ‘Radisson Blu Hotel Galadari Colombo’ යන නව සන්නාමයෙන් ක්‍රියාත්මක වීමට නියමිතය.

Radisson හෝටල් ජාලය මගින් ගලදාරි හෝටලය මිලට ගැනීමෙන් පසු මෙම වෙනස සිදුව ඇත. Radisson හෝටල් ජාලය ගාල්ලේ හා කොළඹ තවත් හෝටල දෙකකින්ද යුතුය. විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම නිල සන්නාම හඳුන්වා දීමේ අවස්ථාවට හෝටල් ක්ෂේත්‍රයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.




දීර්ඝ කාලීන අලුත්වැඩියා කටයුතුවලින් පසුව නව මුහුණුවරක් ගෙන ඇති මෙම හෝටලයට නවීන පහසුකම් රැසක් එක් කර තිබේ. එළිමහන් පිහිනුම් තටාකයක්, SPA පහසුකම්, ව්‍යායාම මධ්‍යස්ථානයක් මෙන්ම නවීන රැස්වීම් හා උත්සව ශාලා, අවන්හල් සහ බාර් ඇතුළු අංග රැසක් ඊට ඇතුළත් වේ.

නව සන්නාමය හඳුන්වා දීමේ නිල උත්සවය නොවැම්බර් 22 වැනිදා පැවැත්වෙන බවත්, හෝටලය 2026 දෙසැම්බර් මාසයේදී නිල වශයෙන් යළි විවෘත කිරීමට නියමිත බවත් Galadari Hotels (Lanka) PLC සමාගම පසුගිය 16 වැනිදා කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ලිපියක් යොමු කරමින් කලින්ම තහවුරු කර තිබිණි. ඒ අනුව නව සන්නාමය යටතේ හෝටලයේ සියලු මෙහෙයුම් එළඹෙන දෙසැම්බර් මාසය වන විට සම්පූර්ණයෙන් විවෘත කිරීමට සැලසුම් කර ඇත.