people-found-who-dumped-a-dead-body-on-the-road-in-alfred-house-avenue-kollupitiya

කොළඹ නගරයේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කළ 62 හැවිරිදි පියෙකු නිවාඩු ලබා සූදානම් වූයේ, කටුනායක වෙළඳ කලාපයේ රැකියාවේ නිරත සිය දියණිය දැක බලාගැනීම සඳහා යාමටය. ඒ ගමන වෙනුවෙන් ඔහු ඇයට තිළිණ කිරීමට ජංගම දුරකථනයක් ද මිලදී ගෙන තිබිණි.

එහෙත් බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ මෙම පුද්ගලයාගේ එම ගමන කටුනායකින් නොව, කොල්ලුපිටියේ අතුරු මාර්ගයකින් ඛේදනීය ලෙස අවසන් විය.




කොල්ලුපිටිය, ඇල්ෆ්‍රඩ් හවුස් ඇවනිව් ප්‍රදේශයේ අතුරු මාර්ගයක සැකකටයුතු ලෙස පසුගිය 21 වනදා දමාගොස් තිබූ එම මළ සිරුර සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව, සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොල්ලුපිටිය පොලිසිය සමත්ව තිබේ. පසුගිය 21 වැනිදා රාත්‍රියේ ත්‍රීරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම සිරුර මාර්ගයේ දමාගොස් ඇති බව මුලින්ම අනාවරණය වූයේ CCTV දර්ශන ඔස්සේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම සිදුවීමේ පෙළගැස්ම පිළිබඳ තොරතුරු හෙළිවී තිබේ. ඒ අනුව, සැකකරුවන් අතරින් ත්‍රීරෝද රථයේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා කුලී රථ රියදුරෙකි. මියගිය 62 හැවිරිදි පුද්ගලයා අතරමඟදී ඔහුගේ ත්‍රීරෝද රථයට ගොඩවී ඇති අතර, කෙටි දුරක් ගමන් කර බම්බලපිටිය ප්‍රදේශයට ළඟා වන විට ඔහු සිහිසුන් තත්ත්වයක සිටින බව නිරීක්ෂණය වී ඇතැයි ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත.




සිහිසුන්ව සිටි මගියා රෝහලක් වෙත රැගෙන යාම වෙනුවට, ත්‍රීරෝද රථ රියදුරු ඒ අසල සිටි සිය මිතුරෙකුගේ ද සහය ලබාගෙන ඔහු මෙලෙස අතුරු මාර්ගයේ දමා ගොස් තිබේ. එපමණක් නොව, සිහිසුන්ව සිටි පුද්ගලයා සන්තකයේ තිබූ රුපියල් 4,000ක මුදලක් සහ ජංගම දුරකථන දෙකක් ද ඔවුන් විසින් සොරාගෙන ඇති බව ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත.

මෙම මළ සිරුරේ තුවාල කිහිපයක් ද දක්නට ලැබුණු බව පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර ඇති අතර, මියගිය පුද්ගලයාගේ දේහය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර තිබේ. සිය දියණිය වෙත රැගෙන යාමට සූදානම් කරගත් ජංගම දුරකථනය ද සොරුන් අතට පත්වෙද්දී, අතරමඟදී ඇති වූ එම අනපේක්ෂිත සිදුවීම පිළිබඳව පොලිස් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකය.

a-dead-body-was-dumped-on-the-road-in-kollupitiya

a-dead-body-was-dumped-on-the-road-in-kollupitiya



a-dead-body-was-dumped-on-the-road-in-kollupitiya

a-dead-body-was-dumped-on-the-road-in-kollupitiya



a-dead-body-was-dumped-on-the-road-in-kollupitiya