neil-alles-is-ill

ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රය තුළ දශක ගණනාවක් පුරා සිය අසහාය රංගන ප්‍රතිභාවෙන් ප්‍රේක්ෂක හදවත් දිනාගත් ප්‍රවීණ රංගධර නීල් අලස් මහතා මේ වන විට මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ. සිය ආදරණීය කලාකරුවාගේ රෝගී තත්ත්වය සැලවීමත් සමඟ, ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් කලා ක්ෂේත්‍රයේ හිතවතුන් මෙන්ම සහෘද රසිකයන් ද සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ සටහන් පළ කරමින් සිටිති.




දශක ගණනාවක් තිස්සේ සිය රංගනයෙන් ප්‍රේක්ෂකයන් පිනවූ මේ විශිෂ්ට කලාවේදියාණන්ට සැමගේ ආශිර්වාදය වඩාත් අවශ්‍ය වී ඇති මොහොතක් බවට මෙය පත්ව තිබේ.1948 වසරේ ජූනි මස 21 වැනිදා උපත ලැබූ නීල් අලස් මහතාගේ කලා ගමනට අත්පොත් තබන්නේ ඔහුගේ පාසල් වියේදීමය. මිතුරන් කිහිපදෙනෙකු සමඟ එක්ව නිර්මාණය කළ 'හැංගි මුත්තං' වේදිකා නාට්‍යයෙන් නාට්‍යකරණයට පිවිසි ඔහු, ප්‍රසිද්ධ වේදිකාවට එක්වන්නේ දයා වයමන්ගේ 'අම්මයි පුතයි' වේදිකා නාට්‍යය හරහාය. එම නාට්‍යයේ ඔහුගේ රංගනයෙන් පැහැදුණු ප්‍රවීණ නාට්‍යවේදී සුගතපාල ද සිල්වා මහතා සිය 'දුන්න දුනුගමුවේ' නාට්‍යයට ඔහුව සම්බන්ධ කර ගැනීම, අලස් මහතාගේ කලා දිවියේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් විය.එතැන් පටන් වේදිකා නාට්‍ය 75කට ආසන්න ප්‍රමාණයකට සිය රංගන දායකත්වය ලබා දී ඇති මේ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියා, 'කැලණි පාලම', 'තාරාවෝ ඉගිලෙති', 'ධවල භීෂණ', 'ට්‍රෝජන් කාන්තාවෝ', 'තල මල පිපිලා', 'ගජමන් පුවත' සහ 'අංගාරා ගඟ ගලා බසී' වැනි අග්‍රගණ්‍ය නිර්මාණ හරහා වේදිකාව මත ස්වකීය අනන්‍යතාව සනිටුහන් කළේය.

වේදිකාවට පමණක් සීමා නොවූ ඔහුගේ රංගන කෞශල්‍යය සිනමාව සහ පුංචි තිරය දක්වා ද විහිදී ගියේය. 'සොල්දාදු උන්නැහේ' සහ 'පාලම යට' වැනි චිත්‍රපට හරහා ද, අතිශය ජනප්‍රිය වූ 'දූ දරුවෝ' සහ 'බැද්දේගෙදර' වැනි ටෙලිනාට්‍ය හරහා ද ඔහු මෙරට ප්‍රේක්ෂකයන්ට කිසිදා නොමැකෙන චරිත රැසක් දායාද කළේය.ශ්‍රී ලාංකේය වේදිකාව, සිනමාව සහ ටෙලිනාට්‍ය කලාව තුළ අමතක නොවන චරිත රැසකට ප්‍රාණය දෙමින්, කලා ක්ෂේත්‍රයට අභිමානයක් වූ මේ අද්විතීය කලාකරුවාණන්ට, හැකි ඉක්මනින් පූර්ණ සුවය ලැබී යළිත් නිරෝගීමත් වේවා යන්න සමස්ත කලාකාමී ජනතාවගේම ඒකායන ප්‍රාර්ථනාවයි.