ලෝක වෙළෙඳපොළේ පවතින යුදමය තත්ත්වය සහ ආර්ථික විචලනයන්ගේ ඍජු ප්‍රතිඵලයක් ලෙස මෙරට ගෑස් පාරිභෝගිකයන්ට අමතර බරක් දැරීමට සිදුව තිබේ. එහෙත් මෑතකදී සිදු කරන ලද ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීම කිසිසේත්ම සමාගමේ ලාභය වැඩිකර ගැනීමේ අරමුණින් හෝ පාරිභෝගිකයා අපහසුතාවට පත් කිරීමේ අරමුණින් සිදු කළ දෙයක් නොවන බව ලාෆ්ස් ගෑස් සමාගම අවධාරණය කරයි.
සමාගමේ අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය මහතා පෙන්වා දෙන්නේ, මෙම මිල සංශෝධනය හුදෙක්ම නිෂ්පාදන සහ මෙහෙයුම් පිරිවැය පියවා ගැනීම සඳහා සිදුකළ ගණනය කිරීමක් පමණක් බවයි. ගෑස් මිල තීරණය කිරීමේ ප්‍රධානතම සාධකයක් වන්නේ සෞදි ඇරැම්කෝ සමාගම විසින් සෑම මසකම මුලදී ප්‍රකාශයට පත් කරනු ලබන ගෑස් මෙට්‍රික් ටොන් එකක මිලයි.
මෙම වසරේ ආරම්භයේ සිට ලොව පුරා උත්සන්න වී ඇති යුදමය තත්ත්වයන් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල සැළකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. කුරුකුලසූරිය මහතා පෙන්වා දෙන පරිදි, එම මිල ඉහළ යාම හරහා පමණක් කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයකට රුපියල් 706ක අමතර පිරිවැයක් එකතු වී තිබේ. ඊට සමගාමීව, යුද ගැටුම් හේතුවෙන් ගෑස් ප්‍රවාහනය කරන නැව් ගාස්තු සහ රක්ෂණ ගාස්තුද ඉහළ යාම නිසා තවත් රුපියල් 417ක පිරිවැයක් සිලින්ඩරයකට එක්ව ඇත.
ඊට අමතරව දේශීය ආර්ථික සහ මූල්‍යමය සාධකද මෙම මිල වැඩිවීමට බලපා තිබේ. විනිමය අනුපාතයේ සිදුවූ වෙනස්වීම් මත සිලින්ඩරයකට රුපියල් 299ක අමතර පිරිවැයක් දැරීමට සිදුව ඇති අතර, බැංකු ණය සහ ණයවර ලිපි (LC) මගින් ගෑස් මිලදී ගැනීමේදී සමාගමට දරන්නට සිදුවන මූල්‍ය පිරිවැය ලෙස තවත් රුපියල් 90ක් ඊට එකතු වේ. මෙම සියලු පිරිවැය ඉහළ යාම්වලට අමතරව අදාළ මිල සංශෝධනයට සියයට 18ක වැට් බද්ද යටතේ රුපියල් 256ක මුදලක් ද ඇතුළත් වන බව ඔහු පැහැදිලි කළේය.
මෙම සියලු සාධක එකතු කළ විට කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක් සඳහා රුපියල් 1,769ක පිරිවැය වැඩිවීමක් සිදු කළ යුතු වුවද, සමාගම විසින් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් ඉහළ දමා ඇති බව කුරුකුලසූරිය මහතා කියා සිටියේය.
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි සමාගමක් ලෙස ලාෆ්ස් ගෑස් සමාගම සිය කොටස්කරුවන්ට මෙන්ම ණය පහසුකම් ලබා දී ඇති බැංකු ඇතුළු මූල්‍ය ආයතනවලටද වගකීමට බැඳී සිටී. එබැවින් පාඩු ලබන මිලකට ගෑස් අලෙවි කිරීමේ හැකියාවක් සමාගමට නොමැති බව ඔහු පැවසීය.
ඒ අනුව වත්මන් මිල සංශෝධනය අතිරේක ලාභ ඉපයීම අරමුණු කරගත්තක් නොව, ලෝක වෙළෙඳපොළේ පවතින යුදමය වාතාවරණය ඇතුළු සාධක හමුවේ සමාගමේ පැවැත්ම උදෙසා පිරිවැය පියවා ගැනීම වෙනුවෙන්ම තීරණය කිරීමට සිදුවූ මිලක් බව ප්‍රධාන විධායක නිලධාරීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.