දිගු කලක් පුරා නීතිමය ක්‍රියාවලියක් ඔස්සේ ඇදී ගිය නඩුකරයක තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීමේ චෝදනාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අද (26) වරද පිළිගත්තාය. කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්.බෝදරගම මහතා හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී ඇය මෙම දැනුම්දීම සිදු කළාය.
ඒ අනුව, ඇයට දඬුවම් නියම කිරීම සඳහා නඩුව ජනවාරි මස 14 වනදා යළි කැඳවීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. එමෙන්ම විත්තිකාරියගේ ඇඟිලි සලකුණු ලබාගෙන ඒ පිළිබඳ වාර්තාවක් කැඳවන ලෙසද අධිකරණයෙන් නියෝග නිකුත් විය.
අධිකරණ භූමියෙන් පිටතට පැමිණි ඩයනා ගමගේ මහත්මිය, සිය දේශපාලන ගමනේදී මුහුණ දුන් බව කියන පීඩා, පාර්ලිමේන්තුව තුළ සිදු වූ ගැටුම් සහ සිය යෝජනා පිළිබඳව දීර්ඝ අදහස් දැක්වීමක නිරත වූවාය. එහිදී වත්මන් පාලනය පිළිබඳව ඇය දැක්වූයේ කැපී පෙනෙන ස්ථාවරයකි. වත්මන් ආණ්ඩුවේ කිසිවෙකුගෙන් තමන්ට කිසිදා හිරිහැරයක් සිදු වී නොමැති බව පැවසූ ඇය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ එම පක්ෂයේ කිසිවෙකු පාර්ලිමේන්තුව තුළදී පවා තමන්ට අපහාසාත්මක කිසිවක් ප්‍රකාශ කර නොමැති බව සඳහන් කළාය.
කෙසේ වෙතත්, ඇයගේ ප්රබලතම චෝදනාව එල්ල වූයේ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ පිරිස් වෙතය. එක්සත් ජාතික පක්ෂයේ සාමාන්‍ය පාක්ෂිකයන් නොව, එම පක්ෂය තුළම සිටින කිහිප දෙනෙකුට තමන්ගේ කටයුතු ඉවසා සිටිය නොහැකි වූ බව ඇය චෝදනා කළාය. ඔවුන් සමගි ජන බලවේගයේ පිරිසක් සමඟ එක්ව තමන්ට දැඩි ලෙස හිංසා සහ පීඩා සිදු කළ බව පැවසූ හිටපු රාජ්‍ය අමාත්‍යවරිය, ඉදිරියේදී එම පුද්ගලයන්ගේ නම් සහ සිදු වූ සියලු දේ හෙළිදරව් කරන බවද ප්‍රකාශ කළාය.
පාර්ලිමේන්තුව තුළදී තමන් මුහුණ දුන් බව කියන අත්දැකීම්ද ඇය එහිදී සිහිපත් කළාය. කාන්තාවක් ලෙස පාර්ලිමේන්තුවේ කතා කිරීමට නැගී සිටි සෑම අවස්ථාවකදීම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තමන්ට අසභ්‍ය වචනයෙන් බැන වැදුණු බව ඇය පැවසුවාය. පාර්ලිමේන්තු ලොබියේ සිදු වූ ගැටුම හරහා තමන්ව නරක චරිතයක් ලෙස සමාජයට පෙන්වුවද, එතැනදීත් එල්ල වූ අසභ්‍ය බැන වැදීම් ඉවසීමේ සීමාව ඉක්මවා ගිය නිසා එවැනි සිදුවීමක් ඇති වූ බව ඇය කියා සිටියාය. කාන්තාවන් වූ පමණින් අනුන්ගෙන් පහර කෑමට අවශ්‍ය නැති බවද ඇය එහිදී අවධාරණය කළාය.
මේ අතර, කංසා නීතිගත කිරීම සහ පාස්ටර්වරුන් නියාමනය කිරීම සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කළ යෝජනා පිළිබඳවද ඇය යළිත් සිය ස්ථාවරය පැහැදිලි කළාය. එම යෝජනා ඉදිරිපත් කළේ පානය කිරීම සඳහා නොව, ඖෂධ නිෂ්පාදන සමාගම් මෙරටට ගෙන්වා ඩොලර් උපයන කර්මාන්තයක් ලෙස රට ගොඩනැගීම සඳහා බව ඇය අවධාරණය කළාය. එම ස්ථාවරයේ අදත් හෙටත් සිටින බව ඇය සඳහන් කළාය.
වරද පිළිගැනීමත් සමඟ ජනවාරි 14 වනදා නියම වීමට නියමිත දඬුවම අභියස සිටින ඇය, සිය අදහස් දැක්වීම අවසන් කළේ අධිකරණය කෙරෙහි පළ කළ විශ්වාසයකිනි. මෙරට අධිකරණය සහ විනිසුරුවරුන් ස්වාධීනව සත්‍ය තත්ත්වය සලකා බලා තමන්ගේ නඩු කටයුතුවලින් යහපත් හා සාධාරණ තීන්දුවක් ලබා දෙනු ඇතැයි තමන් දැඩි ලෙස විශ්වාස කරන බව ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.