දික්කසාද නඩුවක තීන්දුවක් ප්රමාදයකින් තොරව කඩිනමින් ලබා දීම වෙනුවෙන් රුපියල් 65,000ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් බවට එල්ල වූ චෝදනාවක් මත කොළඹ උතුර කාති උසාවියේ විනිසුරුවරයා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සිදු කරන ලද වැටළීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ, අදාළ අල්ලස් ඉල්ලීම සම්බන්ධයෙන් එම කොමිසම වෙත ලැබුණු පැමිණිල්ලකට අනුවය.
මෙම සිද්ධියේ විශේෂත්වයක් ලෙස අල්ලස් කොමිසම අනාවරණය කරගෙන ඇත්තේ, විනිසුරුවරයා සමඟ අත්අඩංගුවට පත් ඔහුගේ බිරිඳ ද එම කොළඹ උතුර කාති උසාවියේම ලේකම්වරිය ලෙස කටයුතු කර ඇති බවයි.
අදාළ දික්කසාද නඩුවේ තීන්දුව කිසිදු ප්රමාදයකින් තොරව කඩිනමින් නිකුත් කිරීම සඳහා ඔවුන් මෙම මුදල අල්ලස් වශයෙන් ඉල්ලා ඇති බවට චෝදනා එල්ල වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාර විනිසුරුවරයා සහ ඔහුගේ බිරිඳ 19 වැනිදා කොළඹ මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර විමර්ශන සිදු කරයි.
කාති උසාවි යනු ශ්රී ලංකාවේ ඉස්ලාම් භක්තිකයන්ට අදාළ මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය (1951 අංක 13 දරන පනත) යටතේ ක්රියාත්මක වන විශේෂ අධිකරණ ආයතන වේ. ඉස්ලාම් ආගම අදහන ශ්රී ලාංකිකයන්ට අදාළ විවාහ, දික්කසාද, නඩත්තු සහ භාරකාරත්වය වැනි පෞද්ගලික නීති කටයුතු මෙමඟින් විභාග කෙරේ.