even-if-the-president-apologizes-it-will-be-of-no-use---gnanasara-thero-faces-another-case-within-4-years

ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාව මත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබූ බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම අභියාචනාධිකරණය විසින් අද (නොවැම්බර් 18) තහවුරු කරනු ලැබීය. මෙම නියෝගය නිකුත් කෙරුණේ, මහාධිකරණය විසින් ලබාදුන් අදාළ දඬුවමින් තමන් වහන්සේව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් විසින් ගොනු කර තිබූ අභියාචනය විනිසුරු මඩුල්ල විසින් ඉවත දැමීමත් සමගය.




දැනට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වසර පහමාරක සිරදඩුවමක් විඳිමින් සිටින ඥානසාර හිමි මෙම නඩුවෙන් ද සමගාමී වසර 4 කට සිරගතවන අතර මේ නිසා අධිකරණ අපහාස නඩුවට ජනපති සමාව පිරිනැමුවත් අලුත් දඩුවම නිසා කොහොමත් සිරගතව සිටින්නට සිදුවන බව වාර්තා විය. 

අද දින අධිකරණයට පැමිණීමේදී ඥානසාර හිමිට සිවුරක් පිරිනැමූ නමුත් එය ප්‍රතික්ෂේප කර ජාතික ඇඳුමින් අධිකරණයට පැමිණි බවද වාර්තා විය. මෙම නෛතික ක්‍රියාවලියට පදනම් වූ මුල් සිදුවීම වාර්තා වන්නේ 2016 වසරේ මාර්තු මස 30 වන දාය. එදින කොළඹ කිරුළපන ප්‍රදේශයේදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වා තිබිණි. 

එම මාධ්‍ය හමුවේදී පළ කරන ලද අදහස් මගින් ඉස්ලාම් ආගමට අපහාස කිරීම මෙන්ම ජාතීන් සහ ආගම් අතර සංහිඳියාවට බාධා වන අයුරින් කටයුතු කිරීම යන කරුණු මුල්කරගනිමින් නීතිපතිවරයා විසින් උන්වහන්සේට එරෙහිව නඩු පවරා තිබුණේ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 291 වන වගන්තිය යටතේය. අදාළ චෝදනාවලට වරදකරු කෙරුණු ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවමක් නියම කරනු ලැබුවේ 2024 වසරේදීය.

උන්වහන්සේ අභියාචනාධිකරණය හමුවට ගොස් තිබුණේ අදාළ දඬුවමට එරෙහිවය. අද දින අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම පෙත්සම ප්‍රතික්ෂේප කිරීමත් සමග, 2016 වසරේ සිදුවීමක් මත පදනම්ව මහාධිකරණය විසින් ලබාදුන් එම සිරදඬුවම නෛතිකව තවදුරටත් ස්ථීර වී තිබේ.