ෆොටෝකොපි කඩදාසි ගෙන්වන මුවාවෙන් ඉන්දියාවේ සිට මෙරටට හොර රහසේ රැගෙන ආ රුපියල් මිලියන 792ක් පමණ වටිනා දැවැන්ත විදේශීය දුම්වැටි තොගයක් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙය ඉතා සූක්ෂ්ම ලෙස ව්‍යාජ ලියකියවිලි භාවිත කරමින් සිදුකිරීමට උත්සාහ කළ මහා පරිමාණ ජාවාරමක් බව රේගු විමර්ශනවලදී අනාවරණය වී ඇත. ජාවාරම්කරුවන් විසින් අදාළ කන්ටේනරයේ ආනයනික ලියකියවිලිවල සඳහන් කර තිබුණේ ඒ තුළ ෆොටෝකොපි කඩදාසි සහ සාමාන්‍ය කඩදාසි අඩංගු වන බවයි.
ඔවුන්ගේ මීළඟ සැලසුම වී තිබුණේ මෙම කන්ටේනරය කඳාන ප්‍රදේශයේ පිහිටි ව්‍යාජ ලිපිනයක් සහිත සමාගමක් වෙත රැගෙන යාමටයි. එහෙත් රේගු නිලධාරීන්ගේ තියුණු නිරීක්ෂණය හමුවේ එම සැලසුම ව්‍යර්ථ විය.
අදාළ කන්ටේනරය දැඩි සෝදිසියකට ලක් කිරීමේදී ඒ තුළ සඟවා තිබූ විදේශීය සිගරට් කාටුන් 457ක් රේගු භාරයට ගැනීමට නිලධාරීන් සමත් විය.
මෙම ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරෙන එක් පුද්ගලයෙකු මේ වන විටත් නීතියේ රැහැනට කොටුකරගෙන තිබේ. මෙවැනි නීතිවිරෝධී භාණ්ඩ ජාවාරම් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රේගුව මේ වන විට දැඩි පරීක්ෂණ සහ නීතිමය ක්‍රියාමාර්ග දියත් කර ඇත. මෙම සිද්ධිය පිටුපස සිටින සෙසු ජාලය හෙළිදරව් කර ගැනීම සඳහා රේගු මධ්‍යම විමර්ශන අංශය තවදුරටත් පුළුල් පරීක්ෂණ පවත්වමින් සිටියි.