indian-man-trained-to-open-door-of-srilankan-flight-from-sydney-to-colombo

සිඩ්නි නුවර සිට කටුනායක බලා පියාසර කරමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක් තුළ මධ්‍යම රාත්‍රියේ හටගත් නොසන්සුන්තාවයක් හේතුවෙන් යානයේ දොරටුවකට ද හානි සිදුවීමේ පුවතක් කටුනායක ගුවන්තොටුපළෙන් වාර්තා වෙයි. මෙම අනපේක්ෂිත සිදුවීමට මුහුණ දී ඇත්තේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් යූඑල් 607 දරන ගුවන් යානයයි.




පසුගිය 31 වැනිදා මධ්‍යම රාත්‍රියේ මෙම ගුවන් ගමන අතරතුරදී මගීන් තිදෙනෙකු දැඩි ලෙස බීමතින් කලහකාරී ලෙස හැසිරී ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කරයි. ගුවන් යානය තුළදී ලබා දුන් ආහාර සම්බන්ධයෙන් ගුවන් සේවිකාවන් සමග ඇති කරගත් ආරවුලක් මෙම නොසන්සුන්තාවයට මුල් වී තිබේ. ආරවුල දුරදිග යාමත් සමග කලහකාරී වූ මෙම මගීන් ආහාරපාන තබා තිබූ ට්‍රොලියක් වේගයෙන් තල්ලු කර ඇති අතර, එය යානයේ දොරටුවේ ගැටීමෙන් දොරටුවට මෙලෙස හානි සිදුවී ඇති බව පොලිසිය සඳහන් කරයි.

පසුදින (01) යානය කටුනායක ගුවන්තොටුපළට ගොඩබැස්සවීමෙන් අනතුරුව, යානයේ ප්‍රධාන ගුවන් සේවකයා විසින් මේ සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපළ පොලිසියට නිල වශයෙන් පැමිණිලි කරනු ලැබීය. එම පැමිණිල්‍ලට අනුව ක්‍රියාත්මක වූ ගුවන්තොටුපළ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ කලහකාරී මගීන් තිදෙනා ගුවන්තොටුපළේදීම අත්අඩංගුවට ගෙන තිබේ.




පොලිසිය පවසන පරිදි, මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු සහ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි ඉන්දීය ජාතිකයෙකි. මොවුන් සිඩ්නි නුවර සිට කටුනායක හරහා අන්තර් හුවමාරු මගීන් ලෙස දිල්ලි නුවර බලා පිටත්ව යාමේ අරමුණින් මෙම ගුවන් ගමනට එක්ව සිටි අය වෙති. කෙසේ වෙතත්, ගුවන් යානය තුළ සිදුකළ බීමත් හැසිරීම සහ දේපළ හානිය හේතුවෙන් ඔවුන්ගේ දිල්ලි ගමන කටුනායක ගුවන්තොටුපළ පොලිස් අත්අඩංගුවෙන් තාවකාලිකව නතර වී තිබේ.