thusitha-lost-her-life-when-a-piece-of-earth-fell-on-her-while-working-in-romania

දරුවන්ට යහපත් අනාගතයක් ගොඩනඟා දීමේ එකම අරමුණින් දුරු රටකට ගිය හලාවත, මාදම්පේ සෙම්බු කට්ටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි තිදරු පියෙකු වූ තුසිත සාරංග මහතාට, සිය බලාපොරොත්තු සියල්ල අතරමඟ නතර කරමින් රුමේනියාවේදී අවාසනාවන්ත ලෙස දිවි අහිමි වී තිබේ. රුමේනියාවේ ඉෆෝ ප්‍රාන්තයේ ප්‍රදේශයක නළ පද්ධතියක් එළීමේ කාර්යයේ නිරතව සිටියදී හදිසියේ කඩා වැටුණු පස් කණ්ඩියකට යටවීමෙන් මෙම ඛේදවාචකය සිදුව ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.




නළ පද්ධතිය එළීම සඳහා අඩි දාහතරක් පමණ ගැඹුරට හාරා තිබූ අගලකට බැස සේවය කරමින් සිටි තුසිත මහතා සහ කෑගල්ල ප්‍රදේශයේ පදිංචි සම්පත් නමැති තවත් ශ්‍රී ලාංකිකයෙකු මතට ඉහළින් තිබූ විශාල පස් කණ්ඩිය හදිසියේ කඩා වැටී ඇත. එරට ගලවා ගැනීමේ සහ මුදා ගැනීමේ කණ්ඩායම් බලවත් පරිශ්‍රමයක් යොදා පැය හයකට වැඩි කාලයක් ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් පසු පස්වලට යටවී සිටි දෙදෙනා ගොඩට ගෙන තිබෙන බව එරට මාධ්‍ය තවදුරටත් සඳහන් කරයි. එහෙත් ගොඩට ගන්නා විටත් තුසිත මහතා මියගොස් සිටි බව දැනගැනීමට ලැබී ඇති අතර, අනතුරින් බරපතළ තුවාල ලැබූ සම්පත් මහතා රෝහලක දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

මීට වසර දෙකකට පමණ ඉහතදී පෞද්ගලික සමාගමක රැකියාවක් සඳහා රුමේනියාවට ගිය තුසිත මහතා, වසර දෙකකට පසු කෙටි නිවාඩුවකට ශ්‍රී ලංකාවට පැමිණ පවුලේ අය සහ ඥාතීන් සමඟ විනෝදයෙන් කාලය ගත කර නැවත විදෙස්ගත වී තිබේ. බිරිඳට සහ දරුවන්ට පුදුම ආදරයක් හා ළෙන්ගතුකමක් දැක්වූ ඔහු, පවුලේ අනාගත සුබසිද්ධිය වෙනුවෙන්ම විදෙස් රැකියාව තෝරාගත් බව ඥාතීහු පවසති. ඔහුගේ බිරිඳ රලතා රාජපක්ෂ මහත්මිය වන අතර පියා ඩී. සිරිවර්ධන මහතා සහ මව ඒ. කුසුමලතා මහත්මියයි. ඔහුගේ වැඩිමල් පුතා දහනව හැවිරිදි වියේ පසුවන අතර, අනෙක් පුතා සහ දියණිය මාදම්පේ කරුක්කුව ජාතික පාසලේ ඉගෙනුම ලබති. තුසිත මහතාගේ මල්ලි සර්බියාවේ රැකියාවක නිරතව සිටින අතර ඔහුට නංගි කෙනෙකුද සිටී.




තුසිත මහතාගේ හදිසි අභාවයත් සමඟ ඔහුගේ බිරිඳ සහ දරුවන් තිදෙනා හැඬු කඳුළින් පසුවන අතර, හිත හොඳ මනුස්සයෙකුගේ වියෝවෙන් ඔහුගේ මිතුරන්ද කම්පාවට පත්ව සිටිති. මාදම්පේ සෙම්බු කට්ටිය ප්‍රදේශයේ පදිංචි ඔහුගේ ඥාති සොහොයුරියක වන එස්.ඩී. සේපාලිකා මහත්මිය කඳුළු අතරින් සිය ඥාති සොහොයුරා පිළිබඳව මෙසේ අදහස් දැක්වූවාය.

"මිය ගිය තුසිත සාරංග මගේ පියාගේ සහෝදරයකුගේ වැඩිමල් පුතා. දරුවන්ට හොඳ අනාගතයක් උදා කරලා දෙන්න ඕනෑ කියන හිතුවිල්ල තමයි මල්ලිට නිතරම තිබුණේ. ඒ හින්දම තමයි මල්ලි රට රැකියාවකට ගියේ."



අනතුර සිදුවූ ආකාරය පිළිබඳව තුසිත මහතා සමඟ එක්ව සේවය කළ මිතුරන්ගෙන් සියලු තොරතුරු දැනගත් බව පවසන සේපාලිකා මහත්මිය, මේ දිනවල රුමේනියාවට පවතින තද වැස්ස හේතුවෙන් බුරුල් වී තිබූ පස් කණ්ඩියක් මෙසේ කඩා වැටෙන්නට ඇති බවට වැඩිදුරටත් දැනගැනීමට ලැබුණු බවද සඳහන් කළාය.

අනාගත බලාපොරොත්තු රැසක් සිත තුළ රඳවාගෙන විදෙස්ගත වූ තුසිත සාරංග මහතාගේ දේහය අවසන් කටයුතු සඳහා එළඹෙන දෙසැම්බර් මස පළමුවැනිදා ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතය.

thusitha-lost-her-life-when-a-piece-of-earth-fell-on-her-while-working-in-romania

sri-lankan-man-working-in-romania-dies-after-being-buried-under-a-mound-of-earth

sri-lankan-man-working-in-romania-dies-after-being-buried-under-a-mound-of-earth



sri-lankan-man-working-in-romania-dies-after-being-buried-under-a-mound-of-earth

sri-lankan-man-working-in-romania-dies-after-being-buried-under-a-mound-of-earth



sri-lankan-man-working-in-romania-dies-after-being-buried-under-a-mound-of-earth