පාසලේ පැවති නත්තල් කැරෝල් පුහුණු වැඩසටහනකට සහභාගී වී සුපුරුදු පරිදි නිවස බලා යමින් සිටි දහතුන් හැවිරිදි පාසල් සිසුවියකගේ ගමන, නිවස ආසන්නයේදීම ඛේදවාචකයකින් කෙළවර වී තිබේ. කිරි ප්‍රවාහනය කරන ලොරි රථයකින් ඇද වැටීමෙන් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බව නෝර්වුඩ් පොලිසිය පවසයි.
පෙරේදා (25) පස්වරු 4.00ට පමණ සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ නෝර්වුඩ් දමිළ මහා විද්‍යාලයේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි විජේකුමාර් හර්ශනි නැමති සිසුවියකි. ඇය නෝර්වුඩ් වෙන්චර් වතුයායේ අක්කර 50 ප්‍රදේශයේ පදිංචිකාරිනියක බව පොලිසිය කියයි.
නෝර්වුඩ් පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති පරිදි, එම කිරි එකතු කරන ලොරි රථයේ ගමන් කිරීම හර්ශනිට අලුත් අත්දැකීමක් නොවේ. ඇය ඇතුළු එම වතුයායේම පදිංචි තවත් පාසල් ළමයින් පිරිසක් දිනපතා පාසල හැරී නිවෙස් බලා පැමිණීමට එම ලොරි රථයේම ගමන් කරන බව විමර්ශනවලින් හෙළිවී ඇත.
අනතුර සිදුවූ දිනද පාසලේ නත්තල් කැරෝල් පුහුණු වැඩසටහන අවසන් කර නිවස බලා යාම සඳහා ඇය එම ලොරි රථයේ පසුපසට නැග තිබේ. එහි තිබූ කිරි එකතු කරන කෑන් මත වාඩි වී ගමන් කරමින් සිටි සිසුවිය, සිය නිවස ආසන්නයේදී එක්වරම ලොරි රථයෙන් බිමට ඇද වැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඇද වැටීමෙන් බරපතළ ලෙස තුවාල ලැබූ සිසුවිය දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇතත්, රෝහල්ගත කිරීමෙන් පසු ඇය මියගොස් ඇති බව පොලිසිය කළ පරීක්ෂණවලින් හෙළිවී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ලොරි රථයේ රියැදුරු සහ රිය සහායකයා නෝර්වුඩ් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පවසන නෝර්වුඩ් පොලිසිය, අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.