පුද්ගලික බැංකුවක නිල වෙබ් අඩවියට සමාන අයුරින් සකස් කළ ව්‍යාජ වෙබ් අඩවියක් හරහා පුද්ගලයෙකු රවටා, ඔහුගේ බැංකු ගිණුමෙන් රුපියල් ලක්ෂ දහයක (රුපියල් 1,000,000) මුදලක් වංචා කළ බවට සැකකෙරෙන තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට වාරියපොල පරිගණක අපරාධ විමර්ශන අංශය සමත් වී තිබේ.
2026 නොවැම්බර් 26 වැනිදා දහවල් කාලයේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු රාගම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි. පොලිසිය සඳහන් කරන පරිදි ඔහු පුද්ගලික ආයතනයක දත්ත ඇතුළත් කිරීමේ නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිටි අයෙකි.
සිය බැංකු ගිණුමේ තිබූ මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පැමිණිලිකරු විසින් වාරියපොල පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කෙරිණි. අදාළ පුද්ගලික බැංකුවේ නිල වෙබ් අඩවියට සමාන ලෙස නිර්මාණය කළ ව්‍යාජ වෙබ් අඩවියක් මගින් පැමිණිලිකරු රවටා, ඔහුගේ ගිණුම් ප්‍රවේශ දත්ත ලබාගනිමින් මෙම මුදල් වංචාව සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.
ඒ අනුව ක්‍රියාත්මක වූ වාරියපොල පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු මත මෙම 25 හැවිරිදි දත්ත ඇතුළත් කිරීමේ නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොල පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් වැඩිදුර විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක කෙරේ.