
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති මුදල් විශුද්ධිකරණ නඩුවේ සාක්ෂි විභාග කිරීම කල් තැබීමට කොළඹ මහාධිකරණය අද තීරණය කළේය. විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා අසනීප තත්ත්වයෙන් පසුවීම මෙම නඩුව කල්තැබීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.
මෙම නඩුව අද දින කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා හමුවේ කැඳවනු ලැබූ අතර, මේ වන විට ඇප මත මුදා හැර සිටින විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතා ද ඒ සඳහා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
රුපියල් ලක්ෂ 730කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කොටස් පහක් දෙහිවල සහ රත්මලාන යන ප්‍රදේශවලින් මිල දී ගැනීමේදී මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත උල්ලංඝනය කර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.
මෙම නඩුවට අදාළව මීට පෙර සාක්ෂි ලබා දුන් ඉඩම් හිමියෙකු වන ලූෂන් රත්නායක මහතා ප්‍රකාශ කර තිබුණේ, රත්මලාන කෙකටිය පාරේ පිහිටි සිය පර්චස් 31ක ඉඩම විකිණීමේ කටයුතු තමන් විසින් හිතවතෙකු වූ වසන්ත කුමාර ජයසූරිය මහතාට පැවරූ බවයි. අනතුරුව ඔහු විසින් හඳුන්වා දුන් ගැනුම්කරුවෙකුට රුපියල් මිලියන 34.5ක මුදලකට අදාළ ඉඩම විකුණා ඇති අතර, ඒ සඳහා වන ඔප්පුවට අත්සන් තැබීම රාජගිරියේ පිහිටි ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේදී සිදුකර තිබේ.
අදාළ ගැනුම්කරු කවුරුන්දැයි තමන් නොදැන සිටි බවත්, එම මුදල තම බැංකු ගිණුමට බැර කිරීමෙන් අනතුරුව තමන් ඔප්පුවට අත්සන් තැබූ බවත් සාක්ෂිකරු වැඩිදුරටත් පවසා ඇත. මුදල් තැන්පත් කළ පුද්ගලයා කවුරුන්දැයි නොදන්නා නමුත් ඉඩම් ඔප්පුවේ ගැනුම්කරු ලෙස 'ඩේසි ෆොරස්ට්' නමැති කාන්තාවකගේ නමක් සඳහන්ව තිබූ බවද ඔහු එහිදී අනාවරණය කළේය. ඊට අමතරව, අදාළ ඉඩම විකිණීමට වසර දෙකකට පමණ පෙර එහි පැවති පැරණි බඩු විකිණීමේ ප්‍රදර්ශනයක් (Garage sale) සඳහා යෝෂිත රාජපක්ෂ මහතා සිය පෙම්වතියද සමගින් පැමිණි බවද සාක්ෂිකරු අධිකරණය හමුවේ සිහිපත් කර තිබුණි.
