කොළඹ විහාරමහාදේවී උද්යානයේ බුදු පිළිමය අබියස දියත් කර තිබූ සත්යග්රහය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරගැනීම සඳහා ත්රෛනිකායික මහනායක ස්වාමීන් වහන්සේලා මැදිහත් වන බවට ලබාදුන් දැනුම්දීම මීට හේතු වශයෙන් සඳහන් කර ඇත.
සත්යග්රහයේ නිරතව සිටි භික්ෂූන් වහන්සේලා සමඟ අද (25) පස්වරුවේ මාධ්ය වෙත අදහස් දක්වමින් පූජ්ය උලපනේ සුමංගල හිමියන් මේ බව තහවුරු කළහ.කෙසේ වෙතත් අධිකරණය මගින් මෙම පිරිසට මෙම ස්ථානයෙන් පිටවන්නට යයි නැවත නියෝග කර තිබුනේ සිකුරාදා (23) වන නමුත් අධිකරණ කාර්යාල කටයුතු ප්රමාදය මත හෙට (26) සඳුදා උදෑසන තෙක් එම නියෝගයට අත්සන් තැබීම ප්රමාදවී තිබීමෙන් මෙමනියෝගය බලාත්මකවීමට කල් ගත විය. එම අවසරය මත තවත් දින දෙකක් රැඳී සිටි නමුත් නීතියට අනුව හෙට උදේ කොහොමත් ඉවත්වන්නට නියමිතව තිබිණි.
බුදු සසුන ආරක්ෂා කිරීමේ අරමුණ මුල්කරගනිමින් පසුගිය 16 වැනිදා ආරම්භ වූ පාගමනකින් අනතුරුව මෙම සත්යග්රහය ආරම්භ කෙරිණි. ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස බල කරමින් විහාරමහාදේවී උද්යාන පරිශ්රයේ රැඳී සිටි භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස සිය අරගලය ඉදිරියට ගෙන ගියේ එය දේශපාලන ව්යාපෘතියක් බවට සැඟවුණ තොරතුරුද එළිදරව් කරමින් නීතිමය අභියෝග රැසක් ද මධ්යයේය.
පසුගිය සිකුරාදා මෙම විරෝධතාව සම්බන්ධයෙන් අධිකරණයේ කරුණු විභාගයක් පැවැත්විණි. පොදු සහ පෞද්ගලික දේපළවලට හානි සිදුවිය හැකි බවත්, ජනතාවට ගමන් කිරීමට නොහැකි වන පරිදි මාර්ග අවහිර වන බවත් පෙන්වා දෙමින් සත්යග්රහය ඉවත් කිරීම සඳහා පොලිසිය එහිදී අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණි. පොලිස් ස්ථානාධිපතිවරයා සහ නීතිපතිවරයා නියෝජනය කරමින් නිලධාරීන් ඊට සහභාගී වූ අතර, සත්යග්රහයේ නිරත කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මෛත්රී ගුණරත්න මහතා අධිකරණයට දැනුම් දුන්නේ විරෝධතාවය තුළ කිසිදු ප්රචණ්ඩකාරී තත්ත්වයක් උද්ගත වී නොමැති බවයි.
සත්යග්රහය ඉවත් කරන ලෙසට අධිකරණයෙන් ස්ථිර නියෝගයක් ලබා දී ඇති බවට මාධ්ය ඔස්සේ අදහස් පළ වුවද, නීතිඥවරයා එම කරුණ ප්රතික්ෂේප කළේය. ඔහු පෙන්වා දුන්නේ සිකුරාදා පස්වරු 3.00 ට පමණ නඩුව අවසන් වීමෙන් පසු මහේස්ත්රාත්වරයා නියෝගය ලිවීම සඳහා පැය භාගයක පමණ කාලයක් ගත් බවයි. එහෙත් රාජ්ය සේවකයින් පස්වරු 3.30 ට පමණ සේවයෙන් පිටව යන බැවින්, එහි ලිඛිත පිටපත ලබාගැනීම සහ නියමය අත්සන් තැබීම සඳුදා (26) දක්වා කල් ගොස් තිබිණි. සඳුදා දක්වා ලැබී ඇති මෙම සහන කාලය තුළ පොලිසිය සත්යග්රහයට මැදිහත් නොවීමට තීරණය කර ඇති බවට ද වාර්තා පළ විය.
නීතිඥ මෛත්රී ගුණරත්න මහතාට අනුව, ලිඛිත පිටපත නිකුත් වීම ප්රමාද වුවද නියෝගය ලිවීමෙන් පසු මහේස්ත්රාත්වරයා එහි හරය නීතිඥවරුන්ට පැහැදිලි කර දී ඇත. සාමකාමීව, නීත්යානුකූලව සහ පොදු දේපළවලට හානි නොකරමින් කටයුතු කරන්නේ නම් මෙම විරෝධතාව ඉවත් කිරීමට තමන්ට හෝ කිසිවෙකුට බලයක් නොමැති බව අධිකරණය එහිදී දැනුම් දී තිබේ. අධිකරණ ක්රියාවලිය හරහා සඳුදා තෙක් අරගලයට අවකාශ හිමිව තිබූ පසුබිමක, මහනායක හිමිවරුන්ගේ ඍජු මැදිහත්වීම මත සත්යග්රහය තාවකාලිකව අවසන් කරමින් විසඳුමක් කරා යොමු වීමට අරගලකරුවෝ අද තීරණය කළහ.