වයස අවුරුදු දොළහක දැරියක සහ දහහතර හැවිරිදි ඇගේ වැඩිමහල් සොහොයුරා අධිකරණයට රැගෙන එනු ලබන්නේ පාසල් යා යුතු වයසේදී 'අයිස්' මත්ද්රව්යයට දැඩි ලෙස ඇබ්බැහි වූවන් ලෙසය. ඊයේ (29) මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයේදී දිගහැරුණු මෙම ඛේදනීය පුවත, මත්ද්රව්ය ව්යසනයක් විසින් එක්තරා පවුලක් වසර පහක් ඇතුළත සම්පූර්ණයෙන්ම විනාශ කර දැමූ ආකාරය මනාව පිළිඹිබු කරයි.
මෙම දරුවන් දෙදෙනා පාසල් නොයන බවට මාදම්පිටිය පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී ඔවුන්ව පොලිස් භාරයට ගැනුණේ, ඔවුන් සතුව තිබී අයිස් මත්ද්රව්ය මිලිග්රෑම් 220ක් ද සොයා ගැනීමෙන් අනතුරුවය. පසුව ඔවුන්ව අධිකරණ වෛද්ය නිලධාරීවරයා වෙත යොමු කළ අවස්ථාවේදී, මෙම අයියා සහ නංගී යන දෙදෙනාම අයිස් මත්ද්රව්ය සඳහා ඇබ්බැහි වී ඇති බව තහවුරු විය. ඒ අනුව දරුවන් පරිවාස භාරයට පත් කිරීමට අධිකරණය මීට පෙර පියවර ගෙන තිබිණි.
බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ මෙම දරුවන් දෙදෙනා මාලිගාකන්ද මහේස්ත්රාත් ජනිතා රෝෂණී පෙරේරා මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී කොළඹ පරිවාස නිලධාරිනී කත්මිලා මෙත්තානන්ද මහත්මිය විසින් ඔවුන්ගේ අතීතය පිළිබඳව සංවේදී කරුණු රැසක් අනාවරණය කරන ලදී.
ඇය අධිකරණයට දැනුම් දුන්නේ මීට වසර පහකට පමණ පෙර මෙම දරුවන් ඉතා යහපත් පවුල් පරිසරයක් තුළ හැදී වැඩුණු බවයි. ඔවුන්ගේ පියා ද එකල සමාජයේ පිළිගත් හොඳ රැකියාවක නිරත වී සිට ඇත. එහෙත් එම සාමකාමී පවුල දෙදරා යන්නේ ඔවුන්ගේ වැඩිමහල් අක්කා වයස අවුරුදු දහසයේදී මත්ද්රව්යවලට ඇබ්බැහි වූ තරුණයෙකු සමඟ නිවසින් පලා යාමත් සමඟය. පසුව එම දියණිය ද මත්ද්රව්යවලට ගොදුරු වී ඇති අතර, ඒ පිළිබඳව දැඩි සිත් තැවුලට පත් වූ පියා ද අවසානයේ මත්ද්රව්ය භාවිතයට පෙළඹී ඇත.
පියා මත්ද්රව්ය සම්බන්ධ වරදකට බන්ධනාගාරගත වූ කාලසීමාවේදී, නිවසින් පැන ගොස් සිටි වැඩිමහල් දියණිය සිය මත්ද්රව්යවලට ඇබ්බැහි වූ සැමියා ද සමඟ යළි නිවසට පැමිණ එහි පදිංචි වී තිබේ. කෙසේ වෙතත්, සිරදඬුවම් විඳ නිදහස ලබා යළි නිවසට පැමිණි පියා විසින් සිය වැඩිමහල් දියණිය සහ ඇගේ සැමියාව නිවසින් පන්නා දමා ඇත. පරිවාස නිලධාරිනිය අධිකරණයට වාර්තා කළේ, ඉන් දැඩි කෝපයට පත් වූ අක්කා විසින් ඊට ප්රතිචාර ලෙස මෙම බාලවයස්කාර අයියා සහ නංගී අයිස් මත්ද්රව්ය සඳහා හුරු කර ඇති බවයි.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී දරුවන්ගේ මව ඇතුළු ළඟම ඥාතීන් කිහිප දෙනෙකු ද අධිකරණය හමුවේ පෙනී සිටියහ. බාලවයස්කාර දරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ධම්මික රත්නායක මහතා එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේ දරුවන්ගේ ළඟම ඥාතීන් අධිකරණයේ පෙනී සිටින බැවින් ඔවුන්ගේ භාරකාරත්වය එම ඥාතීන්ට පවරන ලෙසයි.
ඉදිරිපත් වූ සියලු කරුණු සහ පරිවාස වාර්තා පිළිබඳව අවධානය යොමු කළ මහේස්ත්රාත්වරිය, මෙම දරු දෙදෙනාගේ රැකවරණය වෙනුවෙන් බත්තරමුල්ල ළමා මහේස්ත්රාත් අධිකරණයේ නඩුවක් පවරන ලෙස මාදම්පිටිය පොලිසියට නියෝග කළාය. එසේම, දරුවන් භාරදිය හැකි ඥාතීන් කවුරුන්ද යන්න පිළිබඳව සොයා බලා බත්තරමුල්ල ළමා උසාවියට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ පරිවාස නිලධාරිනියට නියම කළ මහේස්ත්රාත්වරිය, නියමිත දිනයේදී දරුවන් ළමා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට ද නියෝග කළාය. එතෙක් මෙම බාලවයස්කාර අයියා සහ නංගී තවදුරටත් පරිවාස භාරයේ පසුවනු ඇත.