මහජනතාවගෙන් කෘෂිකාර්මික ආයෝජන ලෙස පවසා ලබාගන්නා මුදල් ඇතැම් සමාගම් විසින් පුවත්පත්, සුපිරි වෙළෙඳසල් සහ සංචාරක ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා මෙන්ම විවිධ සංදර්ශන සහ ක්‍රීඩා තරග සඳහා අනුග්‍රහය දැක්වීමට යොදාගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අනාවරණය කළේය. ඊට අමතරව, මහජනතාව මහන්සියෙන් උපයාගත් මෙම මුදල් කලාකරුවන්ට ත්‍යාග ලබා දීමටත්, ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් දැන්වීම් පළ කිරීමටත් මෙම ආයතන විසින් වැය කර තිබේ.
එමෙන්ම, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් යොදාගනිමින් මෙම ආයෝජන ප්‍රවර්ධනය කිරීමට ද ඔවුන් ජනතාවගේ මුදල් භාවිත කර ඇති බවත්, එම ක්‍රියාකාරීන් පෙනී සිටින්නේ ජනතාව වෙනුවෙන් නොව අදාළ සමාගම්වල වුවමනාව මත බවත් අධිපතිවරයා පෙන්වා දුන්නේය.මහ බැංකුව විසින් මෑතකදී අත්හිටුවනු ලැබුවේ නීති විරෝධී ලෙස තැන්පතු ලබාගත් ගිණුම් පමණක් බවත්, කිසිදු අවස්ථාවක නීත්‍යනුකූල වගා ගිණුම් අත්හිටුවා නොමැති බවත් හෙතෙම අවධාරණය කළේය. එබැවින්, මහ බැංකුව ගිණුම් අත්හිටුවා ඇති බව පවසමින් තැන්පතුකරුවන්ට මුදල් ගෙවීම පැහැර හැරීමට මෙම සමාගම්වලට කිසිදු හැකියාවක් නොමැත. කෙසේ වෙතත්, මෙවැනි වංචනික සමාගම්වලට හසු නොවන ලෙස මහ බැංකුව විසින් දිගින් දිගටම සිදුකළ දැනුවත් කිරීම් හේතුවෙන් ඔවුන්ට ලැබෙන නව ආයෝජන ප්‍රමාණය පහත වැටී ඇති අතර, ඒ හේතුවෙන් පැරණි ආයෝජකයන්ට මුදල් ආපසු ගෙවීමට ඔවුන්ට නොහැකි වී තිබේ. නව තැන්පතු නොමැතිව සියයට හතළිහක තරම් අතිවිශාල ලාභාංශයක් ගෙවීමට තරම් ආදායමක් සැබෑ වගා කටයුතුවලින් පමණක් ලබාගත නොහැකි බව මෙයින් මනාව පැහැදිලි වන බව ද ඔහු ප්‍රකාශ කළේය.
නීති විරෝධී ගිණුම් අත්හිටුවීමේ ප්‍රධාන අරමුණ වන්නේ නීතිමය ක්‍රියාපටිපාටියකින් අනතුරුව එම මුදල් නැවත තැන්පතුකරුවන්ට බෙදා දීමයි. අතීතයේ ක්‍රියාත්මක වූ පිරමීඩ ජාවාරම්වලට අත්වූ ඉරණම අත්කර ගැනීමට අකමැති නම්, වහාම නීතිය ඉදිරියට පැමිණ නීති විරෝධී ලෙස ජනතාවගෙන් ලබාගත් තැන්පතු ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් ඉදිරිපත් කරන ලෙස අදාළ වගා සමාගම්වලට මහ බැංකුව දැනුම් දී සිටියි. අනුන්ගේ මුදලින් කෘෂි වියදම් පියවා ගන්නවා වෙනුවට තමන්ගේම මුදලින් අදාළ සමාගම්වලට වගා කටයුතු සිදුකළ හැකි බව ද ආචාර්ය වීරසිංහ මහතා පෙන්වා දුන්නේය.
යම් හෙයකින් මෙවැනි වගා ආයෝජනවලට මුදල් යොදවා අමාරුවේ වැටුණු හෝ අගතියට පත් වූවන් සිටී නම්, ඒ පිළිබඳව මහ බැංකුවට පැමිණිලි කරන ලෙසත්, ලැබෙන පැමිණිලි මත අදාළ සමාගම් සම්බන්ධයෙන් පුළුල් විමර්ශන සිදුකළ හැකි බවත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය. සියයට හතළිහක ලාභාංශයක් ගෙවා අවසානයේ මුළු ආයෝජන මුදලම නැවත ලබා දිය හැකි කිසිදු වගා ක්‍රමයක් ලොව නොමැති බව පැවසූ ඔහු, තවදුරටත් මෙවැනි ව්‍යාපෘති සඳහා මුදල් ආයෝජනය කිරීමෙන් වළකින ලෙසත්, වගා සමාගම් විසින් ලබාදෙන සැක සහිත ත්‍යාග සහ මුදල් ප්‍රතික්ෂේප කරන ලෙසත් ජනතාවට දැඩිව අවධාරණය කළේය.
