satyagrahas-to-leave-viharamaha-devi-park-immediately---court-orders-again

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා විහාරමහාදේවී උද්‍යානය අසල සත්‍යග්‍රහයක නිරත වන පිරිසට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස ඊයේ ලබා දී තිබූ අධිකරණ ආඥාව නැවත තහවුරු කළ අධිකරණය එම තීරණයේ වෙනසක් කරන්නට සත්‍යග්‍රහ කණ්ඩායම ඉදිරිපත් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ. එම තීරණය කිසිදු අයුරකින් වෙනස් කළ නොහැකි බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.

බෝදරගම අද (23) නියෝග කළේය.




කුරුඳුවත්ත පොලීසියේ ඉල්ලීමක් මත ඊයේ (22) දින නිකුත් කර තිබූ මෙම ආඥාව ඉවත් කරන ලෙස හෝ වෙනස් කරන ලෙස ඉල්ලා විරෝධතාකරුවන් විසින් මෝසමක් ගොනු කර තිබුණි. එම වාරණ නියෝගය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඇතුළු පිරිසක් අද දින අධිකරණය හමුවේ පෙනී සිටි අතර, එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ආඥාව වෙනස් කළ නොහැකි බවට වූ තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 (1) ප්‍රතිපාදන ප්‍රකාරව ලබා දී ඇති මෙම නියෝගය පූජ්‍ය උලපනේ සුමංගල සහ පූජ්‍ය බලංගොඩ කාශ්‍යප යන හිමිවරුන් ඇතුළු විහාරාධිපතිවරුන්ටත්, අඛණ්ඩව රැඳී සිටින සෙසු ස්වාමීන් වහන්සේලාටත්, සිවිල් ක්‍රියාකාරීන් මෙන්ම විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයින්ටත් නිකුත් කර තිබේ.




ඒ අනුව විහාරමහාදේවී උද්‍යානය ඉදිරිපිට ඇති බුදු පිළිමය අසල පරිශ්‍රය සහ ඇවිදින මංතීරු ඇතුළුව එෆ්. ආර්. සේනානායක මාවත, ලිප්ටන් වටරවුම, සොයිසා වටරවුම, ධර්මපාල මාවත, කන්නන්ගර මාවත, ග්‍රීන්පාත් පාර සහ මල්පාර යන මාර්ග අවහිර නොකරන ලෙස අදාළ පිරිස් වෙත නියෝග කර ඇත. ඊට අමතරව මල්පාරේ පිහිටි අගමැති කාර්යාලය ඉදිරිපිට සහ විහාරමහාදේවී උද්‍යානයේ බුදු පිළිමය අසල අඛණ්ඩව රැඳී සිටීමෙන් වළකින ලෙසත්, කිසිදු පොදු හෝ පුද්ගලික දේපළකට හානි නොකරන ලෙසත් එමගින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

මෙම අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, අදාළ ආඥාවට එරෙහිව යම් ක්‍රියාවක් සිදුවුවහොත් දණ්ඩ නීති සංග්‍රහය ප්‍රකාරව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පොලීසියට බලය ඇති බවයි. මේ සම්බන්ධයෙන් ඊයේ දින නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය ද පෙන්වා දී තිබුණේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 (3) වගන්තියට අනුව නියෝගය සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේ හැකියාව පොලීසියට පවතින බවත්, ආඥාව කඩ කිරීම ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 185 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවත්ය.