
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස බලකරමින් භික්ෂූන් වහන්සේලා පිරිසක් කොළඹ විහාරමහා දේවි උද්යානයේ ආරම්භ කළ සත්යග්රහයට අද (20) දිනය වන විට දින පහක් ගතවී තිබේ.
මෙම අඛණ්ඩ විරෝධතාවයේ ආරම්භය සනිටුහන් වන්නේ පසුගිය 16 වැනිදාය. එදින පළමුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට එක්රැස් වූ භික්ෂූන් වහන්සේලා පිරිසක්, ඉන් අනතුරුව බුද්ධ ශාසන අමාත්යාංශය වෙත වැඩම කළහ. එහිදී සිය ඉල්ලීම් මුල්කරගනිමින් අමාත්යාංශ ලේකම්වරයා සමග සාකච්ඡාවක නිරත වීමටද උන්වහන්සේලා කටයුතු කළහ.
එහෙත් එම සාකච්ඡාව අසාර්ථක වූ බව පවසමින් භික්ෂූන් වහන්සේලා පිරිස එදින පස්වරුවේ විහාරමහා දේවි උද්යානය වෙත වැඩම කළ අතර, සත්යග්රහය සඳහා එහි අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සහ උන්වහන්සේලා අතර උණුසුම් තත්ත්වයක් ද නිර්මාණය විය.
එවැනි පසුබිමක් මධ්යයේ ආරම්භ කළ මෙම සත්යග්රහය මේ වන විටත් ක්රියාත්මකය. පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කර, තම ඉල්ලීම් සඳහා නිසි විසඳුමක් ලැබෙන තෙක් විහාරමහා දේවි උද්යානයෙන් ඉවත් නොවන බව සත්යග්රහයේ නිරත ස්වාමීන්වහන්සේලා දැඩිව අවධාරණය කරති.