president-summons-mahanayake-theros-who-refused-to-wear-sarongs-instead-of-robes

බන්ධනාගාර නීති රීති සහ ශාසනික සම්ප්‍රදායන් අතර මතුව ඇති අතිශය සංවේදී ගැටලුව පැහැදිලි කරදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා නියෝජනය කරන මහා සංඝරත්නය අතර විශේෂ සාකච්ඡාවක් අද (08) දිනයේ පැවැත්වීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.




මෙම තීරණාත්මක හමුව අද පස්වරු 1.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙනු ඇත.

රාජ්‍ය පරිපාලනය සහ ශාසනික අධිකාරිය අතර මෙම කඩිනම් සාකච්ඡාව සඳහා පසුබිම නිර්මාණය වන්නේ, අධිකරණ තීන්දුවක් ප්‍රකාරව මේ වන විට බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් මෑතකදී මතුවූ සිදුවීමක් පදනම් කරගනිමිනි. උන්වහන්සේව ගිහි වස්ත්‍ර සහිතව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම කෙරෙහි ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගේ විශේෂ අවධානය යොමුව තිබේ.




මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් මහානාහිමිවරුන් විසින් ඊයේ (07) දිනයේදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ලිඛිත දැනුම්දීමක් ද සිදුකරනු ලැබීය. අද පස්වරුවේ ජනාධිපතිවරයා සමග පැවැත්වෙන මෙම සාකච්ඡාව කැඳවා ඇත්තේ ද බන්ධනාගාර බලධාරීන් වෙත යොමුකළ එම ලිපියට අදාළවය.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කළ අදාළ ලිපිය මගින් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් පැහැදිලිව පෙන්වා දී ඇත්තේ, භික්ෂුවකගේ චීවරය ඉවත් කිරීම හෝ පැවිදිභාවය අහෝසි කිරීම වැනි කටයුතු සුවිශේෂී ක්‍රියාවලියක් බවයි. එය හුදෙක් රාජ්‍ය පරිපාලනමය ක්‍රියාවලියකට හෝ බන්ධනාගාර රෙගුලාසියකට පමණක් සීමා වූ කරුණක් නොවන බවත්, එය සම්පූර්ණයෙන්ම මහා සංඝරත්නයට අයත් ශාසනික කාර්යයක් බවත් උන්වහන්සේලා එහිදී දැඩිව අවධාරණය කර ඇත.



කටුනායක ගුවන් තොටුපොළේදී මත්ද්‍රව්‍ය සමඟ භික්ෂූන් වහන්සේලා පිරිසක් අත්අඩංගුවට පත්වීමේ සිදුවීම සහ ඒ ආශ්‍රිතව පැනනැගී ඇති තත්ත්වය සම්බන්ධයෙන්ද මින් ඉහත ජනපතිවරයා සමග මේ ආකාරයේ සාකච්ඡාවක් පසුගිය අප්‍රේල් මාසයේදී පැවැත්විණි.

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීමට අදාළව 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යෝජිත මට්ටමේ තිබියදී විපක්ෂ පක්ෂ ඇති කළ උනන්දුව නිසා මහනායක හිමිවරු ඒ ගැනද ලිපි ලියූ නමුත් රජය 22 වන සංශෝධනය සම්මත කර දැන් ක්‍රියාත්මක කරගෙන යයි.