මොරටුමුල්ල ප්රදේශයේ නිවෙසකට රාත්රී කාලයේ ජනේලයකින් රහසිගතව ඇතුළු වූ පොලිස් නිලධාරියකුගේ ක්රියාකලාපයක්, එම නිවසේම දියණියකගේ ජංගම දුරකතන කැමරාවක සටහන් වීමත් සමඟ ඔහුට සිය රාජකාරියෙන් වැඩ තහනමට ලක්වීමට සිදුවී තිබේ.
සිදුවීමට මුහුණ දී ඇත්තේ මොරටුමුල්ල පොලිසියට අනුයුක්තව රාජකාරි කරනු ලබන කොස්තාපල්වරයෙකි. ඔහු අදාළ නිවසේ පදිංචි කාන්තාවක සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු කියැවේ. පොලිසිය සඳහන් කරන පරිදි, ඉකුත් 26 වැනිදා රාත්රියේ අදාළ කාන්තාවගේ දැනුම් දීමක් මත මෙම කොස්තාපල්වරයා ජනේලයකින් පැන ඇයගේ කාමරයට රිංගා ඇත.
එහෙත් රාත්රියේ කිසියම් ශබ්දයක් ඇසීමෙන් අවදි වූ ඇයගේ දියණිය කාමරයේ විදුලි බුබුළු දල්වා පරීක්ෂා කිරීමේදී සිදුවීම අනාවරණය වී තිබේ. එහිදී තම මව සමඟ සිටින්නේ මොරටුමුල්ල පොලිසියේ කොස්තාපල්වරයකු බව හඳුනාගත් දියණිය, වහාම ඔවුන් දෙදෙනා සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ ගත කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග තහවුරු කරයි.
අනතුරුව එම දියණිය මොරටුමුල්ල පොලිසිය වෙත ගොස් මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති අතර, තමන් පටිගත කරගත් රූප රාමු ද සාක්ෂි වශයෙන් පොලිසියට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ. අදාළ සිදුවීමට චෝදනා ලබා සිටින කොස්තාපල්වරයා විවාහකයකු බව ද පැවසේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාසය භාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ගුණසේකර මහතාගේ උපදෙස් මත පරීක්ෂණයක් පවත්වා ඇත. ඉන් අනතුරුව මොරටුව සහකාර පොලිස් අධිකාරී සී.බී.එම්. වික්රමසිංහ මහතා විසින්, ඉකුත් 27 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි මෙම කොස්තාපල්වරයාගේ රාජකාරි වැඩ තහනම් කර තිබේ. අපකීර්තිමත් හැසිරීම යන චෝදනාව යටතේ අදාළ වැඩ තහනම ක්රියාත්මක කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.