
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයාගේ නිවස කේන්ද්ර කරගනිමින් ඊයේ (16) රාත්රියේ සිට අද අලුයම දක්වා පැය හයක පමණ කාලයක් පුරා ක්රියාත්මක වූ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.
මෙම මෙහෙයුම දියත් කර ඇත්තේ ගල්කිස්ස ප්රදේශයේ පිහිටි මන්ත්රීවරයාගේ පෞද්ගලික ලේකම් සංජේ සමරසිංහ මහතාට අයත් නිවසේදීය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව මෙම හදිසි පරීක්ෂාව සිදුකර ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්ය ප්රකාශක, නීතිඥ මනෝජ් ගමගේ මහතා ප්රකාශ කරයි.
ඔහු සඳහන් කරන පරිදි, ඊයේ (16) රාත්රී 10.30ට පමණ අදාළ නිවස වෙත පැමිණි නිලධාරීන් අද (17) අලුයම 4.30 පමණ වන තෙක් එහි රැඳී සිටිමින් සෝදිසි කිරීම් සිදුකර ඇත. එහිදී මුළු නිවසම දැඩි පරීක්ෂාවකට ලක් කර ඇති අතර, ඊට සමගාමීව නිලධාරීන් විසින් ප්රකාශ සටහන් කරගැනීමක් ද සිදුකර තිබේ.
රාත්රී කාලයේ ආරම්භ වී අලුයම දක්වා ක්රියාත්මක වූ මෙම ඒකාබද්ධ මෙහෙයුමට පාදක වූ නිශ්චිත හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් අදාළ ආයතන මගින් මෙතෙක් නිල වශයෙන් කිසිදු තොරතුරක් ලබා දී නොමැත. කෙසේ වෙතත්, මෙම සිදුවීමට අදාළ වැඩිදුර තොරතුරු අද දහවල් වන විට අනාවරණය කරන බව නීතිඥ මනෝජ් ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සංජේ සමරසිංහගේ නිවසේ තිබූ සේප්පුවක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ භාරයට ගෙන තිබෙන බව කොමිසම පසුව පැවසීය.
ගල්කිස්ස ප්රදේශයේ පිහිටි ලේකම්වරයාගේ නිවස එම කොමිෂන් සභාව, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ඊයේ (16) රාත්රී 10.30 පමණ සිට අද (17) අලුයම 4.30 පමණ වන තෙක් සෝදිසියට ලක් කර තිබුණ බවද දන්වා ඇත.
