ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලුම ආකෘතිවල නායකත්ව කිරුළ කුසල් මෙන්ඩිස් වෙත හිමි වී තිබේ. ධනංජය ද සිල්වා අද (ඔක්තෝබර් 08) ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වීමත් සමඟ, එළඹෙන පාකිස්තාන තරගාවලිය සඳහා ජාතික ටෙස්ට් කණ්ඩායමේ නව නායකයා ලෙස කුසල් මෙන්ඩිස් පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කළේය.
31 හැවිරිදි මෙන්ඩිස්, මේ වන විට ටෙස්ට් තරග 75කට සහ සියලුම ආකෘති යටතේ ජාත්‍යන්තර තරග 343කට ක්‍රීඩා කර ඇති අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකි. 2023 ලෝක කුසලාන තරගාවලියේදී දසුන් ශානකගේ ආබාධයත් සමඟ සුදු පන්දු නායකත්වය භාරගත් ඔහු, මින් ඉදිරියට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ වගකීමද උසුලනු ඇත.
මෑත කාලීනව මෙන්ඩිස්ගේ පිතිකරණය කැපී පෙනෙන මට්ටමක පැවතුණි. 2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී දකුණු පාදයේ මස්පිඬුවක ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට එංගලන්තයට එරෙහි විස්සයි20 තරගාවලිය අහිමි විය. චරිත් අසලංකගේ නායකත්වයෙන් තරග කළ ශ්‍රී ලංකාව එහිදී 3-0ක් ලෙස පරාජයට පත් විය. එහෙත් යළිත් එක්දින නායකයා ලෙස කණ්ඩායමට එක්වූ මෙන්ඩිස්, හෙඩිංලි හිදී පැවති දෙවන එක්දින තරගයේදී පන්දු 100කින් ලකුණු 121ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවට තියුණු ජයග්‍රහණයක් ගෙන ආවේය. හතරේ පහර 14ක් සහ හයේ පහර 3ක් ඇතුළත් වූ එම විශිෂ්ට ඉනිමත් සමඟ ඔහු එක්දින ලකුණු 5,000 සීමාව පසු කළේය. තරගාවලිය 2-1ක් ලෙස එංගලන්තය ජයගත්තද, ලකුණු 198ක් රැස්කළ මෙන්ඩිස් එහි වැඩිම ලකුණු ලාභියා විය. මෙම දස්කම් සමඟින් ඔහුගේ එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම් ලකුණු ප්‍රමාණය 674 දක්වා ඉහළ ගිය අතර, එය ඔහුගේ ක්‍රිකට් දිවියේ ඉහළම එක්දින ශ්‍රේණිගත කිරීමයි.
ඔක්තෝබර් 04 වැනිදා පාකිස්තානය බලා පිටත්ව යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙන්ඩිස් ප්‍රකාශ කළේ, පාකිස්තාන තරගාවලිය කිසිසේත්ම පහසු නොවන බවයි. එහෙත් එංගලන්ත තරගාවලියේ පරාජයෙන් මිදී ශක්තිමත්ව ඉදිරියට යාමට කණ්ඩායමට හැකි බව ඔහු පැවසීය. 2027 එක්දින ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් තරගාවලිය තෙක් බලා නොසිට, ක්‍රීඩකයින් 15-17ක් පමණ සිටින මූලික සංචිතයක් සහ ක්‍රීඩකයින් 25ක පමණ පුළුල් සංචිතයක් දැන් සිටම නිර්මාණය කිරීම තම අරමුණ බවද ඔහු අවධාරණය කළේය. එහිදී පැතුම් නිස්සංක, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ සහ චරිත් අසලංක යන පිතිකරුවන්ගේ අත්දැකීම් ඔහු විශේෂයෙන් ඇගයීමට ලක් කළේය.
මෙම පාකිස්තාන සංචාරය ශ්‍රී ලංකාවට තීරණාත්මක එකකි. දකුණු පාදයේ අපහසුවක් හේතුවෙන් පැතුම් නිස්සංක සහ කොන්දේ ආබාධයක් හේතුවෙන් වනිඳු හසරංග විස්සයි20 තරගාවලියෙන් ඉවත්ව සිටිති. රාවල්පිණ්ඩිහිදී ඔක්තෝබර් 9, 11 සහ 13 යන දිනවල විස්සයි20 තරගාවලිය පැවැත්වේ. ඉන් අනතුරුව, ඔක්තෝබර් 18 සිට 31 දක්වා එංගලන්තයද ඇතුළත් වන තුන්කොන් එක්දින තරගාවලියක් රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගරවලදී පැවැත්වීමට නියමිතය. අනතුරුව නව නායක කුසල් මෙන්ඩිස්ගේ මෙහෙයවීමෙන් යුත් ටෙස්ට් තරගාවලිය නොවැම්බර් 9 වැනිදා රාවල්පිණ්ඩිහිදී ආරම්භ වේ.
1995 පෙබරවාරි 2 වැනිදා මොරටුවේදී උපත ලද මෙන්ඩිස්, මොරටුව වේල්ස් කුමර විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසියේය. 2014 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මෙහෙයවූ ඔහු, 2015 වසරේදී ටෙස්ට් වරම් දිනාගත්තේය. මේ වන විට ටෙස්ට් ශතක 10කට හිමිකම් කියන ඔහුගේ ඉහළම ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 2023 දී අයර්ලන්තයට එරෙහිව ලබාගත් ලකුණු 245යි.
ජාතික කණ්ඩායමේ නායකත්වයට පැමිණි ඔහුගේ මෙම ගමන සුමට එකක් නොවීය. 2020 වසරේදී පානදුරේදී ඔහුගේ මෝටර් රථයේ ගැටීමෙන් 64 හැවිරිදි පාපැදිකරුවෙකු මියයාමේ සිදුවීම, 2021 එංගලන්ත සංචාරයේදී ජෛව ආරක්ෂිත බුබුල උල්ලංඝනය කිරීම හේතුවෙන් පැනවුණු වසරක ජාත්‍යන්තර තරග තහනම, 2023 දී බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ වීදුරු දොරක් කැඩීම සහ 2024 දී බංග්ලාදේශ තරගයකදී විනිසුරුවරුන්ට බැන වැදීම හේතුවෙන් දඩයකට ලක්වීම වැනි මතභේදාත්මක සිදුවීම් රැසක් ඔහුගේ ක්‍රිකට් ගමනේ සටහන්ව ඇත.
එහෙත්, ඒ සියලු බාධක සහ විවේචන මැද ඔහු යළි නැගී සිට ඇත. සුදු පන්දු කණ්ඩායම් මෙහෙයවමින් සිටි මෙන්ඩිස්ගේ කරමත දැන් ටෙස්ට් නායකත්වයේ භාරදූර වගකීමද පැටවී තිබේ. පාකිස්තාන සංචාරය ඔහුගේ එම නව ගමනේ පළමු අභියෝගය වනු ඇත.

