its-fake-newsi-didnt-admit-my-mistake---johnston

තමන් වාහන ආනයන බදු වංචාවකට වරද පිළිගත් බවට ඇතැම් මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා සම්පූර්ණයෙන්ම සාවද්‍ය හා නොමඟ යවනසුලු බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.




2026 ඔක්තෝබර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවනු ලැබූ තමන්ට අදාළ නඩුවක් පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව අවධාරණය කර ඇත. එම නඩුවේදී තමන් වෙත ගොනු කර ඇත්තේ මෝටර් රථ ආඥාපනත යටතේ වන චෝදනා තුනක් පමණක් බව හිටපු අමාත්‍යවරයා එහිදී පෙන්වා දෙයි.

අදාළ මෝටර් රථය මෙරටට ආනයනය කිරීම, එහි හිමිකාරීත්වය දැරීම හෝ ආනයන බදු නොගෙවීම සම්බන්ධයෙන් තමන්ට කිසිදු චෝදනාවක් ගොනු කර නොමැති බව පවසන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, අදාළ වාහනයේ හිමිකරු තමන් නොවන බව ද සිය නිවේදනය මගින් පැහැදිලි කර තිබේ.




මෝටර් රථයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධ නීතිමය චෝදනාවකට වරද පිළිගැනීම සහ වාහන ආනයන බදු වංචාවකට වරද පිළිගැනීම යනු සම්පූර්ණයෙන්ම වෙනස් කරුණු දෙකක් බව ඔහු පෙන්වා දෙයි. එබැවින් තමන් වරද පිළිගත් චෝදනාවේ සැබෑ ස්වභාවය විකෘති කරමින්, තමන්ට එරෙහිව ගොනු කර නොමැති බදු වංචා චෝදනාවකට වරද පිළිගත් බවට ජනතාව තුළ වැරදි මතයක් නිර්මාණය කිරීම අසාධාරණ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර, මෝටර් රථ ආඥා පනතින් අදාළ මෝටර් රථය සන්තකයේ තබා ගත් පුද්ගලයාට එරෙහිව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ ද නඩුවක් පවරා ඇති බව නිවේදනයේ දැක්වේ.



මෙම කරුණු සැලකිල්ලට ගෙන, නඩුවේ සැබෑ නීතිමය තත්ත්වය නිවැරදිව මහජනතාව වෙත ඉදිරිපත් කරන ලෙසත්, පළවී ඇති සාවද්‍ය මාධ්‍ය වාර්තා නිවැරදි කරන ලෙසත් හිටපු අමාත්‍යවරයා සියලුම මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටියි.

its-fake-newsi-didnt-admit-my-mistake---johnston