iranian-protester-sentenced-to-death-for-insulting-the-prophet

නබි තුමන්ට එරෙහිව සමාජ මාධ්‍යයේ පළ කළ එක් සටහනක් හේතුවෙන් ඉරානයේ මරණ දඬුවම නියම වී සිටින 23 හැවිරිදි විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක "මට වීරවරියක් වෙන්න අවශ්‍ය නැහැ. මට ඕනේ එකම දෙයයි.කරුණාකර මගේ හඬ වෙන්න..." යයි මුළු ලෝකයෙන්ම අයැද සිටින්නීය. ඇය නමින් නජ්මේ අමිනීය. ගිණුම්කරණය හදාරන ශිෂ්‍යාවක වන ඇයට

 මෙම දැඩි දඬුවම නියම වී ඇත්තේ ඉස්ලාම් ආගමේ ශාස්තෘවරයාට අපහාස වන අයුරින් සමාජ මාධ්‍යයේ සටහනක් පළ කළේ යැයි එල්ල වූ චෝදනාවක් මතය. 'සබ් ඔල්-නබි' ලෙස එරට නීතියේ දැක්වෙන මෙම වරදට ඉරානය තුළ මරණ දඬුවම හිමි වෙයි. කෙසේ වෙතත්, ඇය විසින් පළ කළේ යැයි කියන එම සමාජ මාධ්‍ය සටහනේ සැබැවින්ම අඩංගු වූයේ කුමක්දැයි මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර නැත.




පසුගිය මාසයේදී නජ්මේගේ හඬ පටයක් මාධ්‍යයට නිකුත් වූ අතර, ඇය ලොව පුරා මානව හිමිකම් සංවිධානවලින්, නීතිඥවරුන්ගෙන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටියේ තම ජීවිතය බේරා ගැනීමට මැදිහත් වන ලෙසයි. "මම හීන ගොඩක් එක්ක ජීවත් වෙන සාමාන්‍ය කෙල්ලෙක්. මාව නැතිවෙයි කියන බියෙන් මගේ අම්මයි තාත්තයි හැමදාම රෑට නිදාගන්නේ හරිම දුකෙන්," ඇය එහිදී පවසා තිබිණි.

ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණය හමුවේ තර්ක කර තිබුණේ, සිදුවීම වූ දින ඇය මිතුරන් පිරිසක් සමඟ 'සයිකඩෙලික් මෂ්රූම්' නැමැති මත්ද්‍රව්‍යයක් භාවිත කර සිටි බවයි. ඇය අතින් මෙම වරද සිදුව ඇත්තේ එම මත්ද්‍රව්‍යයේ බලපෑමෙන් ඇති වූ මායාවන් සහ සිහිමද ගතිය හේතුවෙන් බව ඔවුහු පෙන්වා දුන්හ. ඉරාන නීතියට අනුව, යම් පුද්ගලයෙකු බීමතින් හෝ සිහිවිකල් තත්ත්වයකින් මෙවැනි ප්‍රකාශයක් කර ඇත්නම් දඬුවම් ලිහිල් කිරීමේ හැකියාවක් පවතී.




නමුත් විනිසුරුවරයා එම තර්කය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළේය. ඔහු ඊට ලබා දුන්නේ ඉතා අපූරු තර්කයකි. "ඇය ඇත්තටම මත්ද්‍රව්‍ය භාවිතා කර සිහිමද ගතියෙන් සිටියා නම්, ඇය ඇමෙරිකාවට හෝ ඊශ්‍රායලයට විරුද්ධව මුකුත් නොකිව්වේ ඇයි?" යනුවෙන් විනිසුරුවරයා ප්‍රශ්න කර තිබිණි.

නජ්මේ මුලින්ම අත්අඩංගුවට පත්වන්නේ මේ වසරේ ජනවාරි මාසයේදී ඉරාන රජයට එරෙහිව පැවති දැවැන්ත විරෝධතා අතරතුරදීය. එම විරෝධතා මර්දනය කිරීමේදී ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරවලින් දහස් ගණනක් මියගොස් තවත් 50,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට පත් වූහ. ඉන් පසුව, අන්තර්ජාල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරන ඉරාන සයිබර් පොලිසිය විසින් පෙබරවාරි මාසයේදී ඇයව නැවතත් අත්අඩංගුවට ගනු ලැබුවාය.



මරණ දඬුවමට අමතරව, ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් කටයුතු කිරීම සහ රජයට එරෙහිව ප්‍රචාර ගෙන යාම යන චෝදනා යටතේ පැවති තවත් නඩුවකින් ඇයට වසර දොළහමාරකට වැඩි සිරදඬුවමක්ද නියම වී තිබේ.

කෙසේ වෙතත්, නජ්මේට නියම වූ මරණ දඬුවම තවමත් අවසන් තීන්දුවක් නොවන අතර, ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඇයට අවස්ථාව ඇත. මෙම සිදුවීමත් සමඟ ලොව පුරා මානව හිමිකම් සංවිධාන දැඩි කනස්සල්ලට පත්ව සිටින අතර, ඔවුන් පෙන්වා දෙන්නේ ඉරානය තුළ භාෂණයේ නිදහස සහ විරෝධතාකරුවන්ගේ හඬ යටපත් කිරීම සඳහා එරට රජය මරණ දඬුවම ප්‍රබල ආයුධයක් කරගෙන ඇති බවයි.

iranian-protester-sentenced-to-death-for-insulting-the-prophet



iranian-protester-sentenced-to-death-for-insulting-the-prophet

iranian-protester-sentenced-to-death-for-insulting-the-prophet

iranian-protester-sentenced-to-death-for-insulting-the-prophet



iranian-protester-sentenced-to-death-for-insulting-the-prophet