happy-with-the-government-but-it-was-ranil-who-brought-the-metro-harin

වත්මන් ආණ්ඩුව තවමත් කටයුතු කරන්නේ විපක්ෂයේ භූමිකාවක සිරවී බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියකට අදාළ නඩුවක් සඳහා අද (20) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.




විපක්ෂය උද්ඝෝෂණය කරන අවස්ථාවලදී ඊට එරෙහිව ආණ්ඩුව ද උද්ඝෝෂණයේ නිරත වන අපූරු දර්ශනයක් මේ දිනවල දැකගත හැකි බව පෙන්වා දුන් ඒ මහතා, මෙරටදී එවැනි සිදුවීමක් දුටු පළමු අවස්ථාව මෙය බවත්, ඉන් ආණ්ඩුව ගමන් කරන දිශානතිය මනාව පැහැදිලි වන බවත් අවධාරණය කළේය.

බදුල්ල ප්‍රදේශයේ පැවති ආණ්ඩුවේ දේශපාලන රැස්වීමක් සම්බන්ධයෙන් ද ඔහු මෙහිදී අදහස් පළ කළේය. එම රැස්වීමේදී කාන්තාවන් ආණ්ඩුවේ ප්‍රධානතම ශක්තිය ලෙස හඳුන්වා දී තිබීම පිළිබඳව අදහස් දැක්වූ ඒ මහතා, තමන් කාන්තාවන්ට ගෞරව කරන බව ප්‍රකාශ කළේය. එහෙත්, දේශපාලනය සම්බන්ධයෙන් ඔවුන් සතු දැනුම සීමිත බැවින්, මේ හරහා ඔවුන්ව නොමඟ යවා ඇත්දැයි තමන්ට සිතෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.




ආණ්ඩුවේ සංවර්ධන ක්‍රියාකලාපය පිළිබඳව සිය ස්ථාවරය පැහැදිලි කළ හරීන් ප්‍රනාන්දු මහතා, වෙනත් පාර්ශ්වයන් විසින් ආරම්භ කරන ලද ව්‍යාපෘති විවෘත කිරීම හැරෙන්නට වත්මන් ආණ්ඩුව තවමත් තමන්ගේම කියා කිසිදු ව්‍යාපෘතියක් ආරම්භ කර නොමැති බවට චෝදනා කළේය. ඊශ්‍රායලයේ සහ ජපානයේ රැකියා අවස්ථා හිමිකර දීම මෙන්ම, ඉන්සියුලින් කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම වැනි මේ දිනවල ක්‍රියාත්මක වන වැඩසටහන් සියල්ල සිය පක්ෂයේ සාමාජිකයින් විසින් අතීතයේදී ගෙන ආ ඒවා බව ඔහු සිහිපත් කළේය.

මීට අමතරව, කාගේත් කතාබහට ලක්ව ඇති මෙට්‍රෝ බස් සේවාව ද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරන ලද්දක් බව හෙතෙම පෙන්වා දුන්නේය. වෙනත් අයගේ වැඩසටහන් විවෘත නොකර ආණ්ඩුව තමන්ගේම ව්‍යාපෘති කිහිපයක් හෝ ජනතාවට පෙන්වා දෙන්නේ නම් එය වඩාත් යහපත් වනු ඇති බව ඔහු ප්‍රකාශ කළේය.



කෙසේ වෙතත්, වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබඳව තමන් සතුටු වන බව පැවසූ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම්වරයා, ආණ්ඩුව ගමන් කරන වේගය ඉතා මන්දගාමී බව අවධාරණය කරමින් සිය අදහස් දැක්වීම නිමා කළේය.