බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර සිරගත කිරීමත් සමඟ මාලිමා ආණ්ඩුවේ අවසානය ආරම්භ වූ බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා පවසයි. මෙම ක්‍රියාව හරහා ආණ්ඩුව බරපතළ වරදක් කර ගත් බවද ඔහු ප්‍රකාශ කළේය.
ඥානසාර හිමියන් ගිහි ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කිරීම පිළිබඳව අදහස් දක්වමින් ගම්මන්පිල මහතා කියා සිටියේ, ඒ ක්‍රියාව නීති විරෝධී, ව්‍යවස්ථා විරෝධී මෙන්ම ශාසනික සම්ප්‍රදායටද පටහැනි බවයි. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී අනිවාර්යයෙන්ම අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු අවධාරණය කළේය.
ඔහු පෙන්වා දුන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිත්‍ය නියෝග 550 වගන්තිය අනුව, වැරදිකරුවෙකු හෝ සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේදී ඔහුගේ සාමාන්‍ය ඇඳුමෙන් පැමිණීමට ඉඩ ලබා දිය යුතු බවයි. ඒ අනුව භික්ෂුවකගේ සාමාන්‍ය ඇඳුම චීවරය වන බැවින්, එය ඉවත් කර අධිකරණයට රැගෙන ඒම නීතියට පටහැනි බව ඔහුගේ තර්කයයි.
“මේ රටේ රජවරු පවා කහ සිවුරට හිස නැමුවා. වැරදිලා අවුරුදු පහකට බලය ගත්ත නිරාගමික ගෝත්‍රිකයෝ පිරිසකට වසර 2300ක් පුරාවට මේ රටේ තියෙන ශාසනික ඉතිහාසය වෙනස් කරන්න අපිට ඉඩ දෙන්න බෑ,” යනුවෙන් ගම්මන්පිල මහතා පැවසීය.
ආණ්ඩුවට ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ගැනීමට හැකි වුවද උන්වහන්සේගේ භික්ෂූත්වය කිසිසේත් උදුරා ගත නොහැකි බව ඔහු කියා සිටියේය. චීවරයක් නොදැරුවද ඥානසාර හිමියන් අධිකරණ ශාලාවට පිවිසෙන විට එහි සිටි නීතිඥවරුන් ඇතුළු පිරිස සුපුරුදු පරිදිම උන්වහන්සේට නමස්කාර කළ බවද ඔහු සඳහන් කළේය.
ඥානසාර හිමියන්ට මීට පෙරද නඩු පැවති බවත්, කිසිදු අවස්ථාවක සිවුරු ගලවා ගිහි වෙස් ගන්වා උන්වහන්සේ අධිකරණයට රැගෙන නොආ බවත් ගම්මන්පිල මහතා සිහිපත් කළේය. භික්ෂුවකගේ චීවරය ඉවත් කළ හැක්කේ උන්වහන්සේ පාරාජිකා වූ විටක පමණක් බවද ඔහු කියා සිටියේය.
ඔහු පැහැදිලි කළ පරිදි, භික්ෂුවක් පාරාජිකා වන්නේ සොරකමක්, ලිංගික අතවරයක් හෝ මිනීමැරුමක් සම්බන්ධයෙන් නීතියෙන් වරදකරු බවට ප්‍රකාශයට පත් වූ විටයි. එවිට සිවුර දරා සිටියත් නැතත් භික්ෂූත්වය අහෝසි වන බව ඔහුගේ අදහසයි. “අධිකරණයේ නැගිට අවසරයකින් තොරව කතා කිරීම පාරාජිකාවට හේතුවක් කියලා නීති පොතෙත් නෑ, බණ පොතෙත් නෑ,” යනුවෙන්ද ඔහු පැවසීය.
නලින්ද ජයතිස්ස මහතා ඇතුළු ආණ්ඩුවේ නියෝජිතයින් මේ සම්බන්ධයෙන් කළ ප්‍රකාශ විවේචනය කළ ගම්මන්පිල මහතා, කාල් මාක්ස්ගේ පොත් කියවා බණ පොතක් නොකියවූ අයට එවැනි කතා කිව හැකි බවද සඳහන් කළේය.
“මාලිමා ආණ්ඩුවට අපි කියනවා වැඩේ වරද්ද ගත්තා. මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භය තමයි ඊයේ සිද්ධ වුණේ කියලා අපි බය නැතිව කියනවා,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

