හබරාදූව, කොග්ගල දුම්රිය හරස් මාර්ගයේදී ක්රියාත්මක වෙමින් තිබූ රතු පැහැති විදුලි සංඥා නොතකා අපරීක්ෂාකාරී ලෙස ධාවනය කිරීමෙන් පාසල් සිසුන් දහතුන් දෙනකුට තුවාල සිදු කළ බස් රථයේ මාර්ග බලපත්රය වහාම ක්රියාත්මක වන පරිදි තාවකාලිකව අවලංගු කිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය පියවර ගෙන තිබේ.
අධිකාරියේ සභාපති, විශ්රාමික කොමදෝරු ගාමිණී ජාසිංහ මහතා සඳහන් කළේ අදාළ අනතුර සම්බන්ධයෙන් වාර්තා වීමත් සමඟ සිදු කළ මූලික විමර්ශනවලින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.
පසුගිය 25 වැනිදා අලුයම කොට්ටාවේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ගාල්ල බලා පිටත් වූ මෙම චාරිකාවට කොට්ටාව සමන්පුර ප්රදේශයේ උපකාරක පන්තියක සිසුන්, ගුරුවරුන් සහ මවුපියන් ඇතුළු 61 දෙනකු සහභාගී වී සිටියහ. ඔවුන් කොග්ගල පිහිටි මාර්ටින් වික්රමසිංහ අනුස්මරණ කෞතුකාගාරය නරඹා දිවා ආහාරය සඳහා යළි පිටතට පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබේ.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඒ වන විටත් දුම්රිය හරස් මාර්ගයේ රතු පැහැති විදුලි සංඥා ක්රියාත්මක වෙමින් තිබූ බවයි. එහෙත් එම සංඥා පිළිබඳව කිසිදු තැකීමක් නොකර අපරීක්ෂාකාරි ලෙස බස් රථය හරස් මාර්ගය හරහා ධාවනය කිරීමට යාමේදී, තංගල්ලේ සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ ශීඝ්රගාමී දුම්රිය බස් රථයේ පිටුපස ගැටී ඇත.
අනතුරින් තුවාල ලැබූ සිසුන් දහතුන් දෙනකු උණවටුන සහ කරාපිටිය රෝහල්වලට ප්රතිකාර සඳහා ඇතුළත් කර ඇති අතර, ඉන් එක් සිසුවකගේ තත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම අනතුරට ලක්වූ බස් රථය සාමාන්යයෙන් රුක්මල්ගම - පිටකොටුව 138 මාර්ගයේ මගී ප්රවාහනයේ යෙදෙන බස් රථයක් බව මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය සිදු කළ විමර්ශනයේදී තහවුරු වී ඇත. එවැනි බස් රථයක් පෞද්ගලික චාරිකාවක් සඳහා පිටව යන්නේ නම් අධිකාරියෙන් විශේෂ චාරිකා බලපත්රයක් ලබාගත යුතු වුවද, අදාළ බස් රථය එම බලපත්රය හෝ ලබා නොගෙන මෙම ගමනට එක්ව ඇති බවද අනාවරණය වී තිබේ. මාර්ග බලපත්රය වහාම ක්රියාත්මක වන පරිදි අත්හිටුවීමට එම නීති විරෝධී ක්රියාවද හේතු වී ඇත.
මේ අතර, සිද්ධියට සම්බන්ධ බස් රථයේ 41 හැවිරිදි රියැදුරු සහ 21 හැවිරිදි කොන්දොස්තරවරයා හබරාදූව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ සිටිති.