ඊයේ (07) රාත්‍රියේ පනාගොඩ ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකට අදාළව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා අතුරුගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පනාගොඩ මැදමණ්ඩිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත්තේ මන්ත්‍රීවරයා විසින් පදවාගෙන ආ මෝටර් රථයේ මාර්ගය හරහා මාරු වෙමින් සිටි පදිකයෙකු ගැටීමෙනි. රිය අනතුර සිදුකර පදිකයාට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාව මත සිදුකළ මූලික විමර්ශනවලින් අනතුරුව පොලීසිය විසින් මන්ත්‍රීවරයාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියි. ඔහු වැල්ලවාය හුවමාවෙල, තිවැල් කඳුර ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි අයෙකු බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
සිද්ධියට අදාළව අතුරුගිරිය පොලීසිය මගින් මේ වන විටත් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබන අතර, අත්අඩංගුවට ගත් 50 හැවිරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

