a-group-of-people-chased-and-beat-up-a-luxury-bus-for-not-letting-a-passenger-board-it

කොළඹ සිට කළුතර බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයකට මගියෙකු නංවා නොගැනීමේ සිද්ධියක් මුල් කරගනිමින්, යතුරුපැදිවලින් ලුහුබැඳ ආ පිරිසක් විසින් බස් රථයේ රියැදුරුට සහ කොන්දොස්තරවරයාට පහරදීමේ සිදුවීමක් උතුරු කළුතර ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙම පහරකෑමෙන් තුවාල ලැබූ බස් රථ සේවකයින් දෙදෙනා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හය දෙනෙකු උතුරු කළුතර පොලිසිය විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.




පොලිසිය වෙත පැමිණිලි කර ඇති බස් රථයේ කොන්දොස්තරවරයා වන පානදුර, නිව්සාවේ පදිංචි වන්නකුවත්ත වඩුගේ විල්පේ අජිත් ප්‍රනාන්දු පවසන පරිදි, මෙම සිදුවීම ආරම්භ වී ඇත්තේ පසුගිය 26 වැනිදා රාත්‍රියේදීය. එදින රාත්‍රී 7.00ට පමණ කොළඹින් ගමන් ඇරඹූ මෙම බස් රථය මොරටුව ආලෝක සංඥා කුළුණ අසල නතර කළ අවස්ථාවේදී පුද්ගලයෙකු ඊට ගොඩවී ඇත. කෙසේ වෙතත්, එම පුද්ගලයාව ඊළඟ නැවතුමේදීම බස් රථයෙන් බැස්සවීමට බස් රථ කාර්ය මණ්ඩලය කටයුතු කර තිබේ.

රාත්‍රී 8.00ට පමණ බස් රථය කළුතරට ළඟා වී ඇති අතර, ගමනාන්තයෙන් පසු රාත්‍රී 8.30ට පමණ එය ගාල් කිරීම සඳහා යළි පානදුර බලා රැගෙන යමින් සිටියදී මෙම අනපේක්ෂිත ප්‍රහාරයට මුහුණදීමට ඔවුන්ට සිදුවිය. උතුරු කළුතර නාගස්හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදි දෙකකින් පැමිණි හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් බස් රථය හරස් කර නවතා මෙම පහරදීම සිදු කර ඇත.




මහමග රාජකාරියේ නිරත බස් රථ සේවකයින්ට එල්ල වූ මෙම ප්‍රහාරයේ බලපෑම හේතුවෙන්, පසුගිය 28 වැනිදා කළුතර - කොළඹ සහ කළුතර - පානදුර මාර්ගවල පෞද්ගලික බස් රථ වර්ජනයක් ද ක්‍රියාත්මක විය.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ උතුරු කළුතර පොලිසිය, බස් රථයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරා (CCTV) පද්ධතිය පරීක්ෂා කිරීමෙන් අනතුරුව පහරදීමට සම්බන්ධ සැකකරුවන් සහ ඔවුන් පැමිණි යතුරුපැදි අත්අඩංගුවට ගැනීමට සමත් විය. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ දෙල්දූව, වස්කඩුව, නුගගොඩ සහ මොරොන්තුඩුව යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 21, 23, 24, 25 සහ 42 යන වයස් සීමාවන්හි පසුවන පුද්ගලයින් හය දෙනෙකි.



අත්අඩංගුවට ගත් සැකකරුවන් 29 වැනිදා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.