විදෙස් රටක සිරමැදිරියක් තුළ හුදෙකලා වන සිය රටේ පුරවැසියෙකු වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ලබාදිය හැකි ඉහළම සහයෝගය තහවුරු කරමින්, සෞදි අරාබියේ දම්මාම් මධ්‍යම බන්ධනාගාරයේ රඳවා සිටින ශ්‍රී ලාංකිකයෙකු වන අනෝජන් සිවරාසාගේ සුවදුක් විමසා බැලීමට එරට ශ්‍රී ලංකා තානාපති ඕ. එල්.
අමීර් අජ්වාඩ් මහතා පියවර ගෙන තිබේ. පසුගිය 8 වනදා අදාළ බන්ධනාගාරය වෙත ගිය තානාපතිවරයා, අනෝජන් සමඟ ඔහුගේ ගැටලු සහ අවශ්‍යතා පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත. එහිදී හුදෙක් නිල හමුවකට පමණක් සීමා නොවූ තානාපතිවරයා, ඉදිරියේදී ඍජුවම තොරතුරු හුවමාරු කරගැනීම සඳහා සිය පෞද්ගලික දුරකථන අංකය ඇතුළු තොරතුරු ද ඔහු වෙත ලබාදීමට කටයුතු කර තිබේ.මෙම හමුව සම්බන්ධයෙන් රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිල නිවේදනයක් නිකුත් කර ඇති අතර, අනෝජන් සිවරාසා වෙනුවෙන් පෙනී සිටීමට අදාළව රජයේ මැදිහත්වීම එහි පැහැදිලි කර ඇත. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ඔහුට අවශ්‍ය සියලුම කොන්සල් සහ නීතිමය සහායන් ලබාදීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය බැඳී සිටින බව තානාපති අමීර් අජ්වාඩ් මහතා එහිදී ඔහුට සහතික වී තිබේ.
සිරභාරයේ පසුවුවද අනෝජන් සිවරාසා මේ වනවිට හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව මෙම හමුවෙන් අනතුරුව අදහස් දක්වමින් තානාපතිවරයා තහවුරු කළේය. බන්ධනාගාර බලධාරීන් ද ඔහුගේ සුබසාධනය සම්බන්ධයෙන් නිසි අවධානයකින් පසුවන බව ඔහු සඳහන් කර ඇත. මේ අතර, අනෝජන් සිවරාසා විසින් සවුදි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ වනවිට ඉදිරිපත් කර ඇති අභියාචනා ක්‍රියාවලිය වෙනුවෙන් ද තානාපති කාර්යාලය හරහා අඛණ්ඩව අවශ්‍ය නීතිමය සහාය ලබාදෙමින් සිටින බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

