the-prices-of-13-expensive-medicines-have-been-reduced-providing-relief-of-rs-500-crore-to-the-public

ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් සිදු කළ විධිමත් ඖෂධ මිල නියාමන ක්‍රියාවලිය හේතුවෙන් මෙරට ජනතාවට රුපියල් කෝටි පන්සීයක පමණ දැවැන්ත මූල්‍යමය සහනයක් අත්කර දීමට හැකි වී තිබේ. අධික මිලකින් යුත් ඖෂධ වර්ග දහතුනක මිල ගණන් මෙලෙස පහළ යාම මෙම වාසිය රටට හිමිවීමට හේතු වී ඇති බව එම අධිකාරියේ සභාපති, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ඊයේ (1) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් තහවුරු කළේය.




පසුගිය කාලසීමාව පුරාවටම ඇතැම් අධි මිලැති ඖෂධ මෙරටට ආනයනය කිරීමේදී දැඩි ඒකාධිකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබුණු අතර, ඒ සඳහා සැපයුම්කරුවන් එකෙකු හෝ දෙදෙනෙකු පමණක් වෙළඳපොළ තුළ රැඳී සිටීම ඊට ප්‍රධාන හේතුව විය. එහෙත්, මෑතකාලීනව අලුතින් සැපයුම්කරුවන් කිහිපදෙනෙකුම ලියාපදිංචි කිරීමට ගත් පියවරත් සමඟ ඔවුන් අතර යහපත් තරගකාරීත්වයක් නිර්මාණය වූ අතර, එය සෘජුවම ඖෂධ මිල පාලනයට සහ නියාමනයට දායක වී ඇත.

ඩොලරයේ අගය ඉහළ යාමත් සමඟ අනිවාර්යයෙන්ම ඖෂධ මිලද ඉහළ යන්නේ යැයි සමාජය තුළ පොදු මතයක් පැවතියද, විධිමත් මිල නියාමනයක් ක්‍රියාත්මක වීම හරහා ඩොලරයේ මිල ඉහළ ගිය සමයේදී පවා ඇතැම් ඖෂධවල මිල පහත දැමීමට බලධාරීන්ට හැකි වී තිබේ. එමෙන්ම, ඖෂධ සම්බන්ධයෙන් රෝහල් පද්ධතිය තුළ සිදු කළ හදිසි මිලදී ගැනීම් සැලකිය යුතු මට්ටමකින් සීමා කිරීමට හැකිවීමද මෙම මිල සහනය ජනතාවට ලබාදීමට තවත් ප්‍රබල හේතුවක් වී ඇති බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.




මිල අධික ඖෂධ සෑමවිටම ඉහළ ගුණාත්මකභාවයකින් යුක්ත යැයි සිතීම හුදු මිථ්‍යාවක් පමණක් වන අවස්ථාද පවතින බව වෛද්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. නිසි නියාමනයක් හෝ පාලනයක් නොතිබුණු අතීතයේදී ඇතැම් ඖෂධ සැපයුම් සමාගම් විසින් අසාධාරණ ලෙස අතිවිශාල ලාභයක් ඉපයීමට කටයුතු කර තිබුණු බවත්, වර්තමානය වන විට එම තත්ත්වය සම්පූර්ණයෙන්ම සීමා කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

වෛද්‍ය සැපයීම් අංශය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරිය යන ආයතන ත්‍රිත්වය එකමුතුවකින් යුතුව කටයුතු කිරීම මෙම ක්‍රියාවලියේ සාර්ථකත්වයට හේතු වී ඇත. මෙම ආයතන එක්ව ටෙන්ඩර් ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව සිදු කිරීම හරහා ඖෂධ මිල මනාව පාලනය වෙමින් ජනතාව වෙත මෙලෙස සහන සැලසීමට හැකි වී තිබෙන බව විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.