
දියණියකගේ විභාග ජයග්‍රහණයක් වෙනුවෙන් තෑගි දීමට රන් කරාබු කුට්ටමක් තෝරාගත් සෙනෙහවන්ත පියකුගේ වෙස් ගත් පුද්ගලයෙකු, ව්‍යාජ මාර්ගස්ථ ගෙවීමක් (Online payment) පෙන්වා බේරුවල නගරයේ රන් භාණ්ඩ අලෙවිසලකින් රුපියල් 1,07,000ක මුදලක් වටිනා රන් භාණ්ඩයක් රැගෙන සූක්ෂ්ම ලෙස පලායාමේ සිද්ධියක් සම්බන්ධයෙන් බේරුවල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
පොලිසිය ඊයේ (19) සඳහන් කළ පරිදි මෙම සැකකරු අලෙවිසල වෙත පැමිණ ඇත්තේ සම්පූර්ණයෙන්ම කළු පැහැති ඇඳුමකින් සැරසීය. රන් භාණ්ඩ තෝරාගැනීමේදී වෙළෙඳසලේ සිටි වෙනත් කාන්තාවකගේ ද සහාය ලබාගෙන ඇති ඔහු, තමාට මේ පිළිබඳව වැඩි අවබෝධයක් නොමැති බව පවසමින් ඉතා විශ්වාසනීය අයුරින් කතාබහ කර ඇත. "දුවගෙ වයස අවුරුදු හතයි, එයා විභාගය හොඳට පාස් වුණා. එයාව සප්‍රයිස් කරන්න මම මේ දේ අරගෙන ගිහින් දෙන්න ඕන," යනුවෙන් පවසමින් ඔහු වෙළෙඳසල් හිමියාගේ මෙන්ම එහි සිටියවුන්ගේ ද විශ්වාසය දිනාගැනීමට කටයුතු කර තිබේ.
කරාබු යුගල තෝරාගැනීමෙන් අනතුරුව, අදාළ මුදල බැංකු කාඩ්පතක් මගින් ගෙවීමට හැකිදැයි සැකකරු වෙළෙඳසල් හිමියාගෙන් විමසා ඇත. කාඩ්පත් මගින් මුදල් අය නොකරන බැවින් සිය පුත්‍රයාගේ ගිණුමට මාර්ගස්ථ ක්‍රමය ඔස්සේ මුදල් බැර කරන ලෙස අලෙවිසල් හිමියා එහිදී පවසා තිබේ. ඒ අනුව, එම අවස්ථාවේ වෙළෙඳසලේ නොසිටි සිය පුත්‍රයාට දුරකථනයෙන් ඇමතූ ව්‍යාපාරිකයා ඔහුගේ බැංකු ගිණුම් අංකය සැකකරු වෙත ලබා දී ඇත.
මිනිත්තු දෙක තුනක් වැනි කෙටි වේලාවකට පසු, "ඔන්න මුදලාලි මම මේ ගාන ගෙව්වා" යැයි පවසමින් සිය ජංගම දුරකථනයේ සටහන්ව තිබූ ව්‍යාජ බිල්පතක් වෙළෙඳසල් හිමියාට ප්‍රදර්ශනය කළ සැකකරු ක්ෂණිකව එතැනින් පලාගොස් තිබේ. අලෙවිසල් හිමියා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ, ගිණුමට මුදල් බැරවූයේදැයි තමා පුත්‍රයාගෙන් විමසමින් සිටි අවස්ථාවේදීම සැකකරු මෙලෙස ඉතා සූක්ෂම ලෙස පලාගිය බවයි.
පසුව වෙළෙඳසල් හිමියාගේ පුත්‍රයා අලෙවිසල වෙත පැමිණ අදාළ ගනුදෙනුවට අදාළ මුදල් ගිණුම්ගත වී නොමැති බව තහවුරු කිරීමත් සමගම මෙය වංචාවක් බව අනාවරණය වී ඇත. ඒ මොහොතේම ව්‍යාපාරිකයා විසින් බේරුවල පොලිසිය වෙත ගොස් මේ පිළිබඳව පැමිණිලි කර තිබේ. සිද්ධියට අදාළ ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී, කළු පැහැති ඇඳුමින් සැරසුණු සැකකරු රන් භාණ්ඩ තෝරන ආකාරයත්, මුදල් ගෙවූ බව හැඟවීම සඳහා ජංගම දුරකථනයෙන් ව්‍යාජ බිල්පතක් පෙන්වන අයුරුත් ඉතා පැහැදිලිව පටිගත වී ඇති අතර, පොලිසිය එම දර්ශන ඔස්සේ වැඩිදුර විමර්ශන සිදු කරයි.