women-were-molested-under-the-pretext-of-being-offered-beauty-jobs

රූපලාවණ්‍යාගාරයක සහ නිවෙස්වල රැකියා ලබාදෙන මුවාවෙන් කාන්තාවන් රවටා ඔවුන්ගේ නිවෙස්වලට ගොස් විවිධ අතවර සහ සොරකම් සිදුකරන සංවිධානාත්මක කණ්ඩායමක් සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ. මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ අදාළ වංචාකරුවන් විසින් සිය අනන්‍යතාව අවභාවිත කර ඇති බව පවසන හෝමාගම ප්‍රදේශයේම පදිංචි කාන්තාවක් විසිනි.




මෙම ජාවාරම්කරුවන් මැදිවියේ පසුවන කාන්තාවන්ට දුරකථනයෙන් කතා කරමින් තමන් රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදිකාවක් බවත්, තමන්ට අයත් රූපලාවණ්‍යාගාරයක සේවය සඳහා සේවිකාවන් අවශ්‍ය වී ඇති බවත් පවසමින් මෙම වංචාව සිදුකර ඇත. රූපලාවණ්‍යාගාරයේ සේවය කිරීමට අකමැති කාන්තාවන්ගෙන් සිය නිවසේ වැඩකටයුතු සඳහා පැමිණිය හැකිදැයි ඔවුන් විමසා තිබේ. ඉන් අනතුරුව ඊට කැමැත්ත පළකරන කාන්තාවන්ගේ නිවෙස්වලට සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමේ මුවාවෙන් ගොස් මෙම පිරිස විසින් විවිධ අතවර මෙන්ම දේපළ සොරකම් ද සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ව්‍යාජ රැකියා ලබාදෙන බවට දුරකථන ඇමතුම් ලබාදෙන පුද්ගලයා හෝ කාන්තාව සඳහන් කර ඇත්තේ මෙම රැකියාව සඳහා මසකට රුපියල් අසූ දහසක වැටුපක් ගෙවන බවයි. ඊට අමතරව ඉරිදා සහ පෝය දිනවල නිවාඩු ලබාදෙන බවත්, උදෑසන අටේ සිට සවස හතර දක්වා පමණක් සේවය කළ යුතු බවත්, රැකියාව කරන අතරතුර ඉගෙනීමට පවා පහසුකම් ඇති බවත් පවසමින් ඔවුන් කාන්තාවන් මුලා කර තිබේ. කෙසේ වෙතත්, තම නම භාවිත කරමින් මෙම වංචාව සිදුකළද තමන්ට කිසිදු රූපලාවණ්‍යාගාරයක් නොමැති බව පැමිණිලිකාරිය පොලිසිය හමුවේ අවධාරණය කර ඇත.




ව්‍යාජ රැකියා අවස්ථා පෙන්වමින් මැදිවියේ කාන්තාවන් ගොදුරු කරගෙන අයථා ප්‍රයෝජන ගන්නා මෙම පිරිස සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන ලෙස පැමිණිලිකාරිය පොලිසියෙන් ඉල්ලා තිබේ. මේ වන තෙක් සිද්ධියට අදාළව කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර, වංචාකරුවන් භාවිත කළ දුරකථන අංක ඔස්සේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ. හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂක සුමුදු සේනාරත්න මහතාගේ උපදෙස් මත පොලිස් නිලධාරීහු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවති.